(නිමන්ති රණසිංහ)

ඩුබායි රාජ්‍යයේ සිටින “නඳුන් චින්තක වික්‍රමරත්න” නොහොත් ‘හරක් කටා” නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා ඉකුත් 2020 වර්ෂයේ මාස පහක කාලය තුළ හෙරොයින් කිලෝ 720ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 240ක් සහ නවීන පන්නයේ මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝල අවි 20ක් මෙරටට එවා ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිති විරෝධී දේපල හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය මාතර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

‘මිදිගම නදුන්’ නොහොත් ‘හරක් කටා’ නමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවා සමඟ සම්බන්ධ වෙමින් හෙරොයින් ඡාවාරම සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ලසන්ත වික්‍රමසේකර නොහොත් “මිදිගම ලසා” නැමැත්තාගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරිම් හමුවේ මෙම කරුණු අනාවරණය වී ඇතැයි ද නිති විරෝධී දේපල හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය අධිකරණය දැනුවත් කර තිබේ.

හරක් කටා නැමැත්තා ඩුබායි රාජ්‍යයේ සිට දුරකතන අංක 05කින් මෙම සැකකරු හා සම්බන්ධ වෙමින් මෙම ඡාවාරම සිදුකර ඇති බවට මේ වන විට කරුණු අනාවරණය වී ඇති බවත්, ජාත්‍යන්තර මුහුදු තීරය ඔස්සේ ඉරානය හා පාකිස්ථාන් නෞකා මගින් මෙරට මුහුදු සීමාවට රැගෙනවිත් ඇති මෙම හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය මෙන්ම ගිනි අවි බහුදින ධීවර යාත්‍රා උපයෝගී කරගනිම්න් රටතුළට ගෙනැවිත් ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

ඒ අනුව, 2020 ඔක්තෝම්බර් මස ‘කනිල් පුතා’ යාත්‍රාවෙන් හෙරොයින් කිලෝ 250ක්, නොවැම්බර් මාසයේදී ‘ලක්මිණී 10’ නැමැති බහුදින ධීවර යාත්‍රාවෙන් හෙරොයින් කිලෝ 50ක්  සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 235ක් සමග නවින පන්නයේ මිලිමීටර් නවය වර්ගයේ නවතම පිස්තෝල 20ක් සහ ඉකුත් 2021 වර්ෂයේ පෙබරවාරි මස සහරා නමැති බහුදින යාත්‍රාවෙන් හෙරොයින් කිලෝ 390ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලේ 5ක් දකුණු මුහුදු තීරයේ වැලිගම, මිරිස්ස, යන ප්‍රදේශවලින් මෙරට රැගෙන ඒම සිදුව ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.