(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බොරැල්ල එන්. එම්. පෙරේරා මාවතේ නිවසක කාලයක් තිස්සේ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය ව්‍යාජ ලිපි ලේඛන හා ජාතික හැඳුණුම්පත් හා ව්‍යාජ වාහන අංක තහඩු සකසන මධ්‍යස්ථානයක් වටලා පුද්ගලයන් තිදෙනකු මුදල් හා ව්‍යාජ නිලමුද්‍රා තොගයක් සහ ලිපි ලේඛන සමග අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි,

එම නිවස තුළ තිබී ව්‍යාජ නිල මුද්‍රා 600ක් , ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ඔප්පු පිටපත්ව ඇති මුල් ගොනු 02 ක් , ව්‍යාජ ජාතික හැඳුනුම්පත් 04 ක් , ව්‍යාජ ලේඛන සකස් කිරීම සඳහා යොදාගත් විද්‍යුත් උපකරණ, ටයිප් රයිටර් ,අපරාධයන් සඳහා යොදාගත් මෝටර් රථයක් යතුරුපැදියක්, රුපියල් ලක්ෂ 15 ක මුදලක් ඇතුළු දේපල රැසක් පොලිස් භාරයට ගෙන ඇත.

එම නිල මුද්‍රා අතර රජයේ ප්‍රධාන පෙලේ දෙපාර්තමේන්තුවල නිල මුද්‍රා , සාමාදාන විනිශ්චකාර, නොතාරිස් ,නීතීඥ , විවිධ තනතුරු දරන්නන්ගේ නිලමුද්‍රා ව්‍යාජ ලෙස සකස් කර තිබූ බව පොලිසිය කියයි.

පොලිස් නිලධාරීන් එම ස්ථානය වටලන අවස්ථාවේදී සිටි සැකකරුවන් දෙදෙනකු සහ ඔවුන් ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණ වූ තොරතුරු මත නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේදී තවත් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.