(මනෝප‍්‍රිය ගුණසේකර)

මහරගම ප‍්‍රදේශයේ කෝටි ගණනක වටිනා  ඉඩමක් කූඨ ලේඛන මඟින් ලබාගත් බවට චෝදනා කරමින් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට සහ ඔහුගේ බිරියට එරෙහි නඩුවකින්  නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මහෙන් වීරමන් මහතා අද නියම කළේය.

නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම චෝදනා පත‍්‍රය ගොනු කොට ඇත්තේ ‘කාලාවරෝධයෙන්’ පසුව බවට විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජාලිය සමරසිංහ මහතා ඉදිරිපත් කළ මුලික විරෝධතාවයකින් අනතුරුව විනිසුරුවරයා එලෙස නියම කළේය.

විත්තිකාර යුවළට එරෙහි අධිචෝදනා පත‍්‍ර බාරදුන් අවස්ථාවේදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජාලිය සමරසිංහ මහතා මුලික විරෝධතාවයක් ඉදිරිපත් කරමින් මෙම චෝදනාවට අනුව මෙම වරද සිදුව ඇත්තේ 1996 වසරේ වන නිසා නීතීපතිවරයා තම සේවාදායකයන්ට නඩු පවරා ඇත්තේ කාලාවරෝධයෙන් අනතුරුව යැයි දැනුම් දුන්නේය.

ඒ අනුව මෙම නඩුව පැවරීමට නීතිපතිවරයාට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් නීතීඥ ජාලිය සමරසිංහ මහතා තම සේවාදායකයින් නිදහස් කරන්නැයි ඉල්ලා සිටියේය.

නීතීඥ ජාලිය සමරසිංහ මහතාගේ මුලික විරෝධතාවය පිළිබඳව කරුණු අධ්‍යනය කිරීමෙන් අනතුරුව විත්තිකරුවන්ට එරෙහි චෝදනා පත‍්‍රය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට අවසර දුන් විනිසුරුවරයා විත්තිකාර යුවළ නිදොස් කොට නිදහස් කළේය.