(අමිල සම්පත් ශ්‍රී පල්ලියගුරු)

නිවුන් දරුවන් පස් දෙනෙකුට සමාන උදරයේ විශාලත්වයකින් යුක්ත මවකගේ ගර්භාෂයේ තිබූ කිලෝ පහළොවක් බර ඇති ගෙඩියක් සාර්ථක සැත්කමකින් ඉවත් කිරීමට හැකි වූ බව සැත්කම සිදු කළ මහ රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සමන්ත සමරවික්‍රම සඳහන් කළේය.

වීරකැටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු තිස් අටක් වන එක්දරු මවකට අද උදෑසන සැත්කම සිදුකර ඇති අතර මේ වන විට මව නිරෝගී සුවයෙන් පසුවන බව හම්බන්තොට රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම සැත්කම සිදුකර ඇත්තේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සමන්ත සමරවික්‍රම සමග සහාය වෛද්‍යවරුන් දෙදෙනකු සහ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය වරයකු හා හෙද නිලධාරිනියන් තිදෙනකුගෙන් යුත් කණ්ඩායමක් බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

වසර ගානක සිට ටිකෙන් ටික උදරය ඉදිමින් තිබූ බැවින් ගැස්ට්‍රයිටිස් සඳහා විවිධ වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති බවත් උදරය උසුලාගස්ථ නොහැකි තරමට ඉදිමීම හේතුවෙන් හම්බන්තොට ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයා වෙත පැමිණි ඇත.

ඇයගේ රෝගී තත්ත්වය නිසි ලෙස හඳුනාගෙන කඩිනමින් සැත්කම සිදුකළ බව විශේෂඥ වෛද්‍ය සමන්ත සමරවික්‍රම සඳහන් කළේය.