වසර අවසානයේ අල්ලස් ලෙස තෑගි,වවුචර හෝ හැම්පර්, ලබාදෙන හා ලබාගන්නා පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසම පැවසීය.

පොලිස් නිලධරයින්,රේගු නිලධරයින් ආදී තනතුරු දරන්නන්ට තෑගි හා වවුචර පත් මුවාවෙන් මෙසේ අල්ලස් ලබාදෙන පුද්ගලයින්ගේ අරමුණ වන්නේ ඒ මාර්ගයෙන් එම නිලධරයින්ගේ සිත් දිනාගෙන ඔවුන් ආධාරයෙන් තමන්ට වුවමනා කටයුතු සිදුකර ගැනීම බව එම කොමිසම වැඩිදුරටත් කීය.

මේ අතර නත්තලට ගුරුවරුනට තෑගි දීම සඳහා සුපර් මාර්කට් වවුචර සපයාදෙන ලෙස ඉහළ පෙලේ පාසල් රැසකින් සිසුනට දන්වා ඇතැයි දැනගන්නට ඇත.එක්තරා පාසලක් රුපියල් 500 බැගින් වවුචර සිය ගුරුවරුන්ට තෑගි කිරීම සුදුසු බව සිසුන් මගින් මව්පියන්ට දන්වා ඇත.

මෙවැනි බලපෑම් කිරීමෙන් අඩුආදායම් ලබන මව්පියන්ගේ දරුවන් බලවත් කොන් කිරීමකට ලක්වන බව මවුපියෝ කියති.

අල්ලස් ලෙස වවුචර පත් ලබාදෙන්නන් හා එම වවුචර පත් ලබාගන්නන් දෙපාර්ශවයටම එරෙහිව නීති මගින් කටයුතු කිරීමේ හැකියාව පවතින බව කොමසාරිස් නෙවිල්  ගුරුගේ මහතා පැවසීය.

මුල් පෙල රාජ්‍ය සේවකයින් ඔවුනට ලැබෙන වවුචර පත් ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සුදුසු බව ඔහුගේ මතයයි.

රූපවාහිනී,ජංගම දුරකතන,ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම් සඳහා වන වවුචර වලට ඉහළ තැනක් හිමිව තිබෙන බව පැවසූ ඒ මහතා මහජනතාවගෙන් ලැබෙන පැමිණිලි මත අල්ලස් ලෙස මෙසේ වවුචර ලබාගන්නා පුද්ගලයින්ට එරෙහිව වහාම ක්‍රියාත්මක වන බව අවධාරණය කළේය.

විවිධ ක්‍රම අනුව සිදුවන අල්ලස හා දූෂණය මර්දනය කිරීමට නව නීති හඳුන්වාදීමට හා පවත්නා නීති දැඩි කිරීමට වහාම පියවර ගත යුතුව ඇතැයි අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියද පැවසුවාය.අල්ලස් චෝදනාව කුමන ආකාරයක වේවා ඒ කිසිවෙකටත් සහනයක් ලබා නොදිය යුතු බව ඇය කීවාය.

‘මිතුරන් අතර තෑගි හුවමාරු කරගැනීමේ ගැටලුවක් නැහැ.නමුත් කෙනෙක් රාජ්‍ය නිලධරයෙක් සමග තෑගි හුවමාරු කරගන්නවානම් ඒ කෙනාගේ ඇත්ත අරමුණ තෑග්ග හුවමාරු කරගන්නවාට එහා ගිය දෙයක් වන්නට ඉඩ තිබෙනවා.‘ ගුරුගේ මහතා කීය.

ඇතැම් තරු පහේ හෝටලද සමාගම්ද  ඉහළ පෙලේ නිලධරයින්ට උත්සව සමයන්හිදී මිල අධික වවුචරපත් හා ත්‍යාග ලබාදීමේ පිළිවෙතක් අනුගමනය කරන බව දැනගන්නට තිබේ.මෙසේ කරනුයේ එම නිලධරයින්ගේ සහය ඔවුන් වෙත දිනාගැනීම සඳහා බව පැවසේ.

කීල්ස් සුපර්මාර්කට් හැම්පරයක මිල රුපියල් 121,999.00 කි. එහි තෑගි භාණ්ඩ සියල්ල ලී පෙට්ටියක බහා විසිතුරු එතුම් කොළයකින් ඔතා සුබ පැතුම්පතක්ද සමග විකුණන්නට ඇත.කාගිල්ස් හා ආර්පිකෝ ‍වෙළදසැල්වල විකිණීමට තිබෙන හැම්පර් වල වැඩිම මිල රුපියල් 68000 කි.රුපියල් 3000 සිට ඉහළ වටිනාකම් වලට මෙම හැම්පර් මිලයට ගත හැකිය.