(බී.එච්.රම්‍යා)

හබරාදූව  කොක්ගල ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී දුම්රියේ ගැටුණු බසයේ රියැදුරා සහ කොන්දොස්තර්වරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.   

මෙම අනතුරින් තුවාල ලැබූ සිසු දරුවන් ප්‍රතිකාර සඳහා කරාපිටිය හා උණවටුන රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වූ දුම්රියක එම බස් රථයේ පසුපස කොටස ගැටී මෙම අනතුර සිදුව ඇත.

උපකාරක පන්ති ගුරුවරුන් හා මාපියන් සමග මෙම ළමුන් කොට්ටාව ප්‍රදේශයේ සිට කොක්ගල පිහිටි මාටින් වික්‍රමසිංහ අනුස්මරණ කෞතුකාගාරය නැරඹීමට ගොස් නැවත පැමිණෙමින් සිටියදීයි මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.

අනතුර සිදුවන අවස්ථාවේ උපකාරක පන්ති ගුරුවරුන් 14 දෙනෙකු, මාපියන් 06 දෙනෙකු හා ළමුන් 41 දෙනෙකු බස් රථයේ සිට ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.අ

අනතුර සිදුවූ දුම්රිය හරස් මාර්ගය ආරක්ෂිත ගේට්ටු නොමැති අතර, විදුලි ආලෝක සංඥා හා සීනුව ආධාරයෙන් පමණක් ක්‍රියාත්මක වේ.

එමෙන්ම අනතුර සම්බන්ධයෙන් වයස අවුරුදු 40ක් වන බස් රථ රියැදුරු හා අවුරුදු 21ක් වන කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.