අරණායක සාමසර කන්ද නාය ගිය 17 වැනිදා රාත්‍රියේ සිට බල්ලෙක් නොකා නොබී මඩවළේ ලැග සිටී. මීට පෙර එහි මඩවළක් තිබුණේ නැත.
වෙල් යායේ මඩවළ හැදුණේ ගෙවල් 66ක් ද යටකරගෙන ආ කන්ද නිසාය. වතුර සමග කැලතී ආ මෙම කන්ද දැන් දොදොලක් වැනිය. ඒ අසලටවී විටෙක බුරමින් ද විටෙක ඉදිරි පා වලින් පස් හාරමින්ද සිටින මේ බල්ලා සිටිනුයේ ගමේ බෝධියට මීටර් 25ක් පමණ පහළින්ය. බුදු මැදුර ඇත්තේද එතැනය. එහි තිබූ පන්සල අරණායක සිතියමෙන් මැකී ගොසිනි. හොඳින් වැඩුණු මේ බල්ලා දුඹුරු පාටය. මෙම බල්ලාගේ පාට කුමක්දැයි හරියට කිව නොහැක්කේ මඩ තැවරී දුඹුරු පැහැවී ඇති හෙයිනි. මෙම සතා අද(19) උදෙත් එහි සිටියේය.
අඟහරුවාදා මේ බල්ලා දුකින් සිටිනු දුටු පුද්ගලයෙක් බල්ලා ඔසවාගෙන අනතුරුදායක පෙදෙසින් ගම පැත්තට රැගෙන ගියේය. එහෙත් බල්ලා එහි නතර වූයේ නැත. යළී සිටි තැනටම ගොස් බුරන්නට විය. ඒ බිරීමේ වෙනසක් ඇත. එහි දුක වේදනාව ගැබ්වී තිබිණි. මේ සුරතල් බල්ලාගේ හැසිරීමෙන් පෙනෙනුයේ බල්ලාගේ හාම්පුතා ඇතුළු ගෙදර සිටි සියලු දෙනාම ගමේ නැති බවයි. බල්ලා මඩ ගොඩේම රැඳී සිටීමෙන් පෙනෙනුයේ හාම්පුතා සොයන බවයි. බල්ලා සිටි මඩවළ අසල පෙදෙස හෙළක් වැනිය. එහි සිටි තරුණයන් දෙදෙනකු ජීවිත අනතුරුද නොතකා එහි බසින්නට ගියහ. දණහිසටත් වඩා එරී ගිය ඔවුහු ගොඩට ඇදගැනීමට එහි සිටි කිහිපදෙනෙක් සමත් වූහ.
මහවැසි මැද්දේත් බල්ලා එතැන සිටී. වැසි පෑයුවත් එතැනම සිටී. ඒ බල්ලාගේ හාම්පුතා කවුදැයි දන්නා ගැමියෙක් නැති බව පෙනේ.
(ඡායාරූප තරිඳු ජයවර්ධන)
(ඡායාරූප ලහිරු හර්ෂණ)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හරිම සංවේදී දෙයක්. සමහර බල්ලන් ඉන්නවා හිතාගන්නවත් බැරි ඉතා හොඳ හැසිරීම් ඒ බල්ලන්ට තියෙන්නේ. පවු, ඇත්තටම පවු. මේ මහා ඛේදවාචකය හමුවේ මේ අහිංසක අසරණ සුනඛයා දෙස බලන්න. කරුණාව පෙරදැරි වූ අයට ගොඩක් පින්. (නි)
අනේ ඔයාට වගේම අපිටත් හරිම දුකයි. ඔයාගේ හාම්පුතා ආයේ කවදාකවත් එන එකක් නැහැ. එ්ත් ඔයාගේ උතුම් කෙළෙහිගුණ දැක්වීම අපිට මහා වේදනාවක්. සිව්පා සතුන් ළඟ තියන ගුණදහම් මිනිසුන් ළඟ අද නැහැ බලුපැටියෝ. (නි)
ඉතාම දුක උපදවන පුවතක්. මිනිසුන් ළඟ නැති හොඳ ගතිගුණ තිරිසන් සතුන් ළඟ තිබෙනවා (නි)
තිරිසන් සතා වුණත් තමන්ගේ කෙනාට තිබෙන ලෙන්ගතුකම. මේවා දකිද්දී අහද්දී හිත උණුවෙනවා නොදැනීම (නි)
සමහරවිට බල්ලට ඉවෙන් මොකක්හරි දැනෙනවා වෙන්න පුලුවන්. ඒත් පරක්කු වැඩියි. පවු (නි)
මිනිස්සු එතෙන යටවෙලා ඉන්නවා (බ)
බොහෝ මිනිසුන් ළඟ නැති මානුෂීය ගතිගුණ තිරිසන් සතුන් ළඟ ඇත (බ)
මේවා දකිනකොට වාවගන්න බැරි දුකක් තියෙන්නේ. ඇත්තටම මනුස්ස ජීවිතයේ අනිත්‍ය භාවය මේ වගේ හදිසි සිදුවීම් වලින් මනාව ඔප්පුවෙනවා.සර්වබලධාරි දෙවියන් ඔබ කොහෙද මේ සිද්ධි වෙනකම්. ඔබට මේවා නවතාලිය නොහැක්කේ මන්ද, නැතිනම් ඔබගේ කැමත්තටද මේවා වෙන්නේ. (බ)
සිතුවෙමි මහ පොලොව මෙන්ම මා නොවෙනස් බව එහෙත් මහ පොලොව මෙන් නොවෙමි මම වෙනස් නොවෙමි (බ)
මේ බල්ලා ඉන්න තැන යට යම් දෙයක් තිබෙනවා වෙන්න ඇති (බ)
කවුරුහරි බල්ලා ඉන්න හරිය හොදට බලන්න (බ)
බල්ලාට හොඳින් ඉව ඇත. හාම්පුතා ඒ අවට වැළලී ඇති බවයි හැඟෙන්නේ (නි)
සතා ළඟ ගුණයහපත්කම තියෙනවා, මිනිස්සුන් ළඟ නැති. (ර)
ස්වාමියා වෙනුවෙන් නොකා නොබී සිට මැරුණු හචිකෝ නමැති සුනඛයා වෙනුවෙන් ජපානයේ පිළිරුවක් පවා ගොඩ නගල තියෙනවා. මේ සුනකයත් ස්වාමියාට ඉතා ලැදිව ඉන්න ඇති. (ර)
දෙපාවන් ලග නැති කෘතගුණ දැක්වීම බොහෝ සත්වයන් අතර තියෙනවා. සුනඛයා ද එක සතෙකි. දෙපාවුන් ට ඇසුරු සැනෙකින් කෘතගුණ අමතක වීම මිනිස් ස්වභාවය බව අත්දැකීමෙන්ම කියමි. බොහෝ මිනිසුන් තව කෙනෙකුට උපකාර නොකරන්නට තීරණය කරන්නේද මේ නිසාම විය හැක. (ර)
මිනිස්සුන්ට වඩා මිනිස්සුන්ට ආදරේ කරන ජාතියක්. (ර)
ඇත්ටටම මේ පුවත බලන්න අමාරුයි. කදුළු එනවා ඇස් වලට. (ර)
මෙයාට හොඳට දැනෙනවා එකත් එකටම ඔතන කවුරු හරි ඉන්නවද දන්නේ නැහැ යට වෙලා. (ර)
මොනතරම් දුක්ගින්නක් හිතේ ඇත්ද? බඩගින්නත් නැහැ වගෙයි.අනේ. මෙයාට කවුරුන් හෝ පිහිට වේවා.! (ර)
හාම්පුතාට ආදරේ කරන සතෙක්... (ර)
අනේ කොයිතරම් ගුණය තියෙන සතෙක්ද? සතාට එයාගේ අයිතිකාරයා හම්බවුණොත් ඒ ගැන සතුටුයි. (නි)
උතුම් ගුණ ඇති සත්වයෙක්. (ර)
මේ වගේ විපත් තවත් නම් වෙන්න දෙන්න එපා දෙවියනි. සතුන් පවා ඉන්නේ ගින්දරින්. මොන තරම් අහිංසකද අපේ රටේ හැමෝම. අපි හැමෝම පුළුවන් විදියට මේ යට උදවු කරමු. දුක බෙදා ගනිමු. (ර)
මේ අසරණවී සිටින සතාගෙන් ඉගෙනගන්න බොහෝ දේ ඇත. (ර)
මිනිසුන්ට වඩා ගුණ යහපත්කම් ඇති සතෙක්. (ර)
කව්රු හරි මෙයාව අරන් යන්න. (ර)
අහිංසක සතාට කෑමබීම ගැනවත් උවමනාවක් නැත්තේ මොනතරම් දුකක් හිතේ ඇද්ද. ඉන්න තැන හාම්පුත වැළලී සිටිනවාද දන්නේ නැහැ. මොනතරම් කෙලෙහි ගුණ ඇති සතෙක්ද මේ. (ර)
බලු සුරතලුන්ගේ මිතුරුකම මිනිසුන්ගේ මෙන් වාසියට වෙනස්වන්නක් නොවේ (නි)
මේ කේදවාචකෙට කදුලු සලන්න කදුලු නැත. සියලු දෙනාම සියලු දෙනාගේ ආගම දහම අනුව ජිවත් වෙමු. ලංකාදීපෙට තුති .මගේ රටට බුදුසරනයි දෙවිපිහිටයි. (ර)
ඌ බලා ඉන්න තැන පරීක්ෂා කරන්න. හාම්පුතා ඒ හරියේ වැළලිලා ඇති. (නි)
අපිත් මේ සංසාරයේ මෙහෙම නැතිවුණු අම්මා, තාත්තා, සහෝදර සහෝදරයින්, යාළුවන් එනකන් කොච්චර බලා ඉඳලා ඇද්ද? බලු අම්මේ, තව කොච්චර කාලයක් ඔහොම බලා ඉන්නද? තේරුම් ගන්න සංසාරයේ දුක (නි)
අනේ ඒ සතාව මට ලැබෙන්න සලස්වන්න අයිතිකරුවෙක් නැත්තම්. මම ඌව බලාගන්නම්. (ර)
සතා වුණත් ඌට කෙළෙහිගුණ තිබෙනවා (නි)
අනේ මොනතරම් දුකක් ද තිරිසන්නු කියල අපි මුන්ට කිව්වට අපිට වඩා උදාර මනුස්ස ගතිගුණ තියෙනවා.. මේ ලිපිය කියවන කෙනෙක් ට කඳුලක් ඇහැට එන්නේ නැත්නම් පුදුමයි (බ)
මිනිසුන්ට බල්ලා කියලා බනින්න එපා දැන්වත්. බල්ලා කියන්නේ උසස් ගතිගුණ තියන කෙනෙක් කියලා දැන් පේනවා නේද? (නි)
සමහර මනුසත්වයන්ට වඩා තිරිසන් සත්වයන්ට ගුණය තියෙනවා කියන්න කදිම නිදසුනක්. (බ)
මේ බල්ලට එයාගේ හාම්පුතාලා හම්බුනා. ඒ වෙලාවේ මෙයා කෑ ගහල ඇඩුවා. සතුට වැඩි කමට. හැමෝම දකින්න ඇති නෙව්ස්වලට පෙන්නුවා. (ර)
සසරින් නික්මෙනතුරු කිසිදු සත්වයෙකුට මෙවන් දුකක් නොමවේවා. (බ)
කවුරුහරි මේ සුනඛයා සිටින තැන පොලව යට පරික්ෂා කරලා බලන්න. (බ)
මිනිසුනේ...... ජීවත්වීමේ අරුත මේ සිවුපාවා ගෙන් වත් ඉගෙනගන්න......(බ)
කෙළෙහිගුණ දන්නා සතෙක්. පව් ගොඩක් දුක හිතෙනවා! (නි)
ගංවතුරට ගිහින් සෙල්ෆි ගහන උගත් මිනිසුන්ට තිරිසනෙකුගෙන් අගේ ඇති පාඩමක් (නි)
ප්‍රවෘත්ති අතර ඉතාම සංවේදී ප්‍රවෘත්තියක් (නි)
මිතුරුතුමෝ දුක සැප දෙකහිම පැවතී, බිතු සිතුවම් රූ මෙන් පිටුනොපා යතී. සමහර කකුල් දෙකේ බල්ලන්ට මේ බල්ලා කියා දෙන්නේ වැදගත් පාඩමක්. මේ බල්ලාට සැනසීමක් ලැබේවා!!! (නි)
මිනිස්සු ළඟ නැති උතුම් ගතිගුණ තිරිසන් සතුන් ළඟ තිබෙනවා (නි)
සංසාරික බැඳීමක්... (නි)
පසුගිය දිනක මේ සුනඛයාට උගේ හාම්පුතා අවතැන් කඳවුරක් අසලදී මුණගැහුණ බව කියනවා. ඔහු ජීවතුන් අතර සිටින නිසාම ප්‍රීතියෙන් මුසපත්වූ සුනඛයා උඩුබුරුලමින්, නටමින් එහා මෙහා දුවන අයුරු රුපවාහිනී නාලිකාවක් ඔස්සේ පෙන්නුවා. මේ කළගුණ දන්නා සතා අපූරු පාඩමක් මිනිසුන්ට කියලා දුන්නා (නි)