(නිමල කොඩිතුවක්කු)

හඳුනා නොගත් රිය අනතුරු හේතුවෙන් ලබාදෙන වන්දි මුදල රුපියල් ලක්ෂ දෙකේ සිට රුපියල් දෙලක්ෂ පනස්දහසක්  දක්වා වැඩි කිරීමට මාර්ග  ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පියවර ගෙන තිබේ.

එමෙන්ම බරපතල තුවාල ලබන  වින්දිතයින්ට ලබාදෙන වන්දි මුදල රුපියල් ලක්ෂයේ සිට රුපියල් එක් ලක්ෂ පනස් දහස දක්වා වැඩි කිරීමටත් පියවර ගෙන ඇති අතර මෙම නව වන්දි ක්‍රමය 2022 වසරේ සිට ක්‍රියාත්මක වේ.

මාර්ග අනතුරු වලට ලක්වූ වින්දිතයන් සිහිකිරීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා  වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන  මධ්‍යස්ථානයේදී පැවති සැමරුම් උත්සවයකදී මෙම කරුණු අණාවරනය විය.

ශ්‍රී  ලංකාවේ මාර්ග අනතුරු 50% කින් අඩු කිරිම සඳහා මාර්ග ආරක්ෂාව පිලිබඳව ජාතික සභාව  සකසන ලද ක්‍රියාකාරී සැලැස්ම එලි දැක්වීමද මෙහිදී සිදුකෙරිණ.

අපරික්ෂාකාරි රිය   ධාවනය,  -මත්පැන්, මත්ද්‍රව්‍ය පානය කර රිය ධාවනය, ජංගම දුරකථන භාවිතය, අනාරක්ෂිත ලෙස මාර්ගයේ ගමන් කිරිම, ප්‍රමිතියකින් නොමැති හිස් ආවරණ පැලඳීම මාර්ග අනතුරු බහුල වීමට හේතුවී ඇති බව එහිදී අණාවරනය විය.

මාරක රිය අනතුරු වලට වගකිවයුතු වාහන අතර 42%ක් යතුරුපැදි වන අතර, 12% ක් ලොරි සහ ටිපර් රථ වේ.

එමෙන්ම දිනකදී මියයන පුද්ගලයින්ගෙන් 40% ක් යතුරුපැදි කරුවන් වන අතර 30% ක් පදිකයන් හා 9%ක් පාපැදි කරුවන් බවත් එම  දත්ත වලින් හෙලිවී ඇත.

අනතුරු වලින් 47%ක් සවස 6ත් රාත්‍රි  10ත් අතර කාලය තුළ සිදුවන බවත් එම දත්ත අණාවරනය කරයි.