
(අංජුල මහික වීරරත්න)
ආපදාවෙන් හානි වූ ආගමික, සංස්කෘතික සහ පුරාවිද්‍යාත්මක ස්ථාන කඩිනම් ප්‍රතිසංස්කරණයට ලක් කරන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හින්දුම සුනිල් සෙනෙවි මහතා පැවසීය.
දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ මෙරට ආගමික, සංස්කෘතික සහ පුරාවිද්‍යාත්මක ස්ථානවල සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ අනෙකුත් ආගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ආපදා තත්ත්වය හමුවේ මෙරට දහසකට අධික ආගමික, සංස්කෘතික සහ පුරාවිද්‍යාත්මක ස්ථානවලට හානි සිදුව තිබෙන අතර, එම ස්ථානවල සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කර පෙර පැවති තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හින්දුම සුනිල් සෙනෙවි මහතා මෙහිදී සඳහන් කළේය.
අදාළ සියලු ප්‍රතිසංස්කරණ කටයුතු එම ස්ථානවල පෞරාණිකත්වය ආරක්ෂා කර ගනිමින් ගෞරවනීය මහා සංඝරත්නයේ සහ ආගමික නායකයන්ගේ මඟපෙන්වීම යටතේ අදාළ සියලු පාර්ශ්වවල දායකත්වය ලබා ගනිමින් සිදු කිරීම අපේක්ෂාව බවද අමාත්‍යවරයා පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර මහතා සඳහන් කළේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය මානව සම්පත් සහ අරමුදල් රැස් කිරීම මේ වන විට සිදු කෙරෙන බවයි.
එම ස්ථානවලට අදාළ තාක්ෂණික ඇගයීම් වෙනුවෙන් තාක්ෂණ නිලධාරීන් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමේ කටයුතු ආරම්භ කර තිබෙන බව ලේකම්වරයා කීය.
එම කටයුතු වෙනුවෙන් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නිලධාරින් මෙන්ම, ඒ යටතේ පවතින ආයතනවල නිලධාරීන් සම්බන්ධ කර ගැනීමට සැලසුම් කර තිබෙන බවද ලේකම්වරයා පැවසීය.
එමෙන්ම, හානි වූ ආගමික සිද්ධස්ථාන යළි ගොඩනැගීම වෙනුවෙන් මේ වන විට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කර ඇති අරමුදලට විශාල වශයෙන් දානපතින්ගේ මූල්‍යමය පරිත්‍යාග ලැබෙමින් තිබෙන බවද අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය.
පුරාවිද්‍යාඥයන්ගේ සහ බිතු සිතුවම් සංරක්ෂකයන්ගේ මෙන්ම, වාස්තු විද්‍යාඥයන්ගේ දැනුම අවශ්‍ය වන ආපදාවෙන් ඉතා බරපතළ ලෙස හානි වූ සහ සාමාන්‍ය ඉදිකිරීම් යටතේ ඉදිකිරීමට අසීරු ස්ථාන 08ක් මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් හඳුනාගෙන තිබෙන බවත්, ඒ සඳහා රුපියල් මිලියන 500කට වැඩි මුදලක් වැය වනු ඇතැයි අස්තමේන්තුගත කර තිබෙන බවත් මෙහිදී සඳහන් කෙරිණි.
මෙම කටයුතුවල ප්‍රගතිය සාකච්ඡා කිරීම සඳහා කමිටුව මසකට වරක් රැස්වීමටද මෙහිදී තීරණය කෙරිණි.
අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය මැදගම ධම්මානන්ද,අමරපුර සිරි සද්ධම්මවංශ පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී බලපිටියේ සිරි සීවලි , ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී අත්තංගනේ සාසනරතන , සමස්ථ ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී මහාචාර්ය මුගුණුවෙල අනුරුද්ධ , ජාතික භික්ෂු පෙරමුණේ සභාපති වකමුල්ලේ උදිත හිමිවරුද සෙසු ආගමික පූජකතුමන්ද එම අවස්ථාවට සහභාගී වූහ.
COMMENTS
ජනතාව ඉස්සෙල්ලා... ආගමික තැන් පසුව...