වෛද්‍යවරයා විසින් හදවත් රෝගියකුට නිර්දේශ කළ බෙහෙතක් වෙනුවට පිළිකා නාශක බෙහෙතක් රෝගියකුට නිකුත් කිරීමෙන් ඔහු අසාධ්‍ය තත්ත්වයට පත් කළ බවට වරද පිළිගත් පුංචි බොරැල්ලේ යෝක් ෆාමසියේ හිමිකරු නන්දිත ප්‍රියදර්ශනට හා භද්‍රා ජයවර්ධන ඖෂධවේදිනියට මාළිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් රශන්ත ගොඩවෙල මහතා රුපියල් එක් ලක්ෂ පන්දහසක දඩයක් නියම කළේය.

හිමිකරුට නියමවූ දඩය රුපියල් 80,000 කි.

ගම්පහ පහළ යාගොඩ කාන්ති කුසුමලතා මහත්මිය පැමිණිලි කාරියයි. කොළඹ ජාතික රෝහලේ හෘද රෝගී අංශයේ ප්‍රතිකාර ලැබූ තම සැමියාට විශේෂඥ වෛද්‍ය වසන්ත කුමාර මහතා නියම කළ බෙහෙත් තුන්ඩුව පසුගිය නොවැම්බර් 14 වැනිදා බොරැල්ලේ එම ෆාමසියට ගෙන ගිය බවත් ඊවාබ්‍රැඩින් නම් බෙහෙත වෙනුවට මෙතොට්‍රැක්සේට් නම් පිළිකා නාශක බෙහෙත දී ඇති බවත් එයින් රෝගියා දැඩි අසාධ්‍ය තත්ත්වයට පත්වූ බවත් පැමිණිල්ල ඉදිරිපත් කරමින් විළවුන් උපකරණ හා ඖෂධ අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක අමිත් පෙරේරා හා පරීක්ෂක සී.එස්.ගුරුසිංහ මහත්වරු අධිකරණයට කීහ.