(සුජිත් හේවාජුලිගේ )

හෙද සේවයේ උසස්වීම් ( දෙවැනි ශ්‍රේණියේ සිට පළමු ශ්‍රේණිය දක්වා) සහ  හෙදියන්ගේ නිල ඇඳුම් දීමනාව ලබාදීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  සෞඛ්‍ය සහ  මුදල් යන  අමාත්‍යංශවල ලේකම්වරුන්ට අද (17) උපදෙස් දුන්නේය.

මේ අතර උසස් අධ්‍යාපන පනත සංශෝධනය කර කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්  කරන ලෙසත් හෙද විද්‍යාල එකතු කර ජාතික විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීමට පියවර ගන්නා ලෙසත් ජනාධිපතිවරයා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාට උපදෙස් දුන් බව ජනාධිපති කාර්යාලය පවසයි.

ජනාධිපතිවරයා මෙසේ උපදෙස්දී ඇත්තේ  ජනාධිපති කාර්යාලයේදී අද (17) පෙරවරුවේ පැවැත්වුණු සාකච්ඡාවකදීය.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ ඉල්ලීම පරිදි මෙම සාකච්ඡාව පැවැත්විණ.

සමස්ත රාජ සේවයට බලපෑමක් නොවන ආකාරයට හෙද ඉල්ලීම් ඉටු කිරීමට පියවර ගන්නා ලෙස  ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

හෙද විශ්වවිද්‍යාලය ඇරඹීම, දෙවැනි ශේණියේ සිට පළමු ශ්‍රේණිය දක්වා උසස් කිරීම පෙරදාතම්න්  සිදු කිරීම, පැය 36 ක්ව පවතින රාජකාරි කාලය සතියට දින පහක රාජකාරියක් ලෙස පැය තිහක් ලෙස සැලකීම, වෛද්‍ය වෘත්තිකයන්ට ලබාදෙන රුපියල් තිස් පන්දාහක ඩී.ඒ.ටී දීමනාව සමානුපාතිකව යෝජිත රුපියල් දහදාහක දීමනාව, නිල ඇඳුම් දීමනා චක්‍රලේඛය නිකුත් කිරීම සහ මුලික වැටුපෙන් සීයෙන් එකක්  රේට් අගයක් මත අමතර සේවා දීමනාව  යනාදී කරුණු ගැන මෙහිදී සාකච්ඡා කෙරිණ.

උසස් අධ්‍යාපන අධ්‍යාපන පනත පාර්ලිමේන්තුවට ලබන අප්‍රේල් මාසයේදී ඉදිරිපත් කරන බවත් හෙද විශ්වවිද්‍යාලය මැයි මාසය අවසන් වීමට පෙර  ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත්  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

මේ අවස්ථාවට රාජ්‍ය  සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ජාතික අයවැය අධ්‍යක්ෂ ජනරාල් ජූඩ්  නිලුක්ෂාන්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් හිරාන්සා  කළුතන්ත්‍රි, ජාතික වැටුප් කොමිසමේ ලේකම් චන්ද්‍රානි සේනාරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.