(ඩයනා උදයංගනී)
ඉල්ලීම් 10ක් මුල්කරගනිමින් හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තීය සමිති 16ක් හෙට (8) පෙරවරු 7.00 සිට දීපව්‍යාප්ත එක් දින වැඩ වර්ජනයක නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය, අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය ඇතුළු වෘත්තීය සමිති 16ක් මෙම වැඩවර්ජනයට එක් වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පුංචි බොරැල්ලේ පිහිටි එම සංගම් කාර්යාලයේදී අද (7) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
ඒ අනුව රජයේ රෝහල්වල හෙද සේවාවන්, ඖෂධ නිකුත් කිරීම්, එක්ස් කිරණ පරීක්‍ෂණ, ස්කෑන් ආදී රෝග හඳුනාගැනීමේ පරීක්‍ෂාවන්, ඇස්, දත් පරීක්‍ෂා කිරීම්, ශල්‍යාගාර කටයුතු ආදී සේවාවන් රැසක් අඩපණ වනු ඇතැයි ද සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.
මෙම වැඩවර්ජනය අනිද්දා (9) උදෑසන 8.00 දක්වා ක්‍රියාත්මක වන අතර එම කාලය තුළ අත්‍යාවශ්‍ය සේවාවන්හි පමණක් නිරත වන බව ද ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල කාසල්වීදිය කාන්තා රෝහල ද සොයිසා කාන්තා රෝහල සහ මහරගම පිළිකා රෝහල යන රෝහල්වල මෙම වර්ජනය ක්‍රියාත්මක නොකරන බව ද රත්නප්‍රිය මහතා කීවේය.
වෛද්‍යවරුන්ට පළමු උසස්වීම වසර දෙකකින්, පරිපාලන සේවයේදී වසර 6කින් වශයෙන් ලබාදුන්නද හෙද හෙදියන්ට පළමු සේවා උසස්වීම් ලබාදීමේදී වසර 10ක් බලා සිටින්නට සිදුව ඇතැයි කී රත්නප්‍රිය මහතා එම ගැටලුව විසඳාගැනීමට වසර 4ක් තිස්සේ සාකච්ඡා පැවැත්වූවද මෙතෙක් සාර්ථක වූයේ නැතැයි සඳහන් කළේය.
එමෙන්ම හෙද, පරිපූරක උපාධිධාරීන්ට වැටුප් වර්ධක 10ක් ලබාදීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවත් ඉදිරිපත් කර ඇතත්, වැටුප් කොමිසම හා මහා භාණ්ඩාගාරය එයට විරුද්ධවීම නිසා එම ඉල්ලීමද මෙතෙක් ඉටුව නැති බව කී රත්නප්‍රිය මහතා පවතින වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් පත්කළ රනුග්ගේ කොමිසමේ වාර්තාව ක්‍රියාත්මක කරන ලෙස ද තම සංගම් රජයෙන් ඉල්ලා සිටින බව කීවේය.
පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ කැඳවුම්කරු රවි කුමුදේශ් අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති උපුල් රෝහණ යන මහත්වරුන්ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමන් රත්නප්‍රිය කියන්නේ අපේ සෞඛ්‍ය ඇමතිතුමාගේ ගෝලයා නේද? ඡන්දයත් ළඟ නිසා දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් කරලම ඉල්ලම් ටික ගන්න කියන්න ඇති. එතකොට සේවකයන්ට ඇහුන්කන් දෙන සෞඛ්‍ය ඇමතිතුමා කියලා සම්මානයක් දෙන්න පුළුවන්.... දේශපාලනේ කියන්නේ මෙන්න මේකට....
මගේ ශාල්කර්මය තුන් වෙනි වතාවත් කල් යනවා , සමන් මහත්තයව දෙවිඔයෝම බලාගන්නේ ඕනේ. ඉල්ලන ඔක්කොම දෙන්නේ ඕනේ. අනේ සුදු වැන් හොදයි කියල හිතෙනවා.
මේ රජය පත් වූ දින සිට ජනතාවට අත්යවධ්ය සේවාවන් වන සෞඛ්‍ය, දුම්රිය, අධ්‍යාපන වැනි සේවාවන් වලට රිසිසේ වර්ජන වල යෙදෙන්නට ඉඩ දී තිබෙනවා. ජනාධිපතිවරයා පත්වූ විට ඔහු මුලින්ම කියා සිටියේ "මම '56 බණ්ඩා කලාක් මෙන්, ඔක්කොම ගැට ගසා ඇති බල්ලන් ලිහා දමන" බවකි. නමුත්, ඔහුට නොතේරෙන දේ නම්, එදා බණ්ඩාටවත්, අද සිරිසේනටවත් මේ බල්ලන්ගෙන් කිසි හානියක් වී නැති නමුත්, උන් සැමවිටම හපා කෑවේ රටේ සාමාන්‍ය ජනතාවයි. මෙවැනි නායකයින් රටක බිහිවීම අවාසනාවක් යයි සිතමි.
සෞඛ්‍ය, ප්‍රවාහන, අධ්‍යාපන, මාර්ග නඩත්තු වැනි මහජන බදු මුදලින් නඩත්තු වන සේවාවන් තුල, වැඩ වර්ජන තහනම් කල යුතුයි.
වර්ජන වර්ජන වර්ජන. හැමදාම වර්ජන. ඔවුන්ට ඕනෑ ඒවාගන්න හැමදාම මිනිස්සු බිල්ලට දීලා වර්ජන කරනවා. මොවුන්ට අපේම සල්ලිවලින් උගන්නපු එකේ වරද තමයි මේ අපිට පඩිසන් දෙන්නේ.