(අංජුල මහික වීරරත්න සහ නිමල කොඩිතුවක්කු)

කැලණිය විශ්ව විද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ මහල් දහයක ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ආර්ථික අර්බුදකාරී තත්ත්වය මත නවතා දමා තිබූ කැලණිය විශ්ව විද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ මහල් දහයක ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීමට 2025-02-03 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව, ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු 10ක් ලැබී ඇත. එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ සැලකිල්ලට ගෙන අවම ලංසුකරු වන M/s Sathuta Builders (Pvt) Ltd වෙත රුපියල් බිලියන 1.73 ක මුදලකට (එකතු කළ අගය මත බදු රහිත) එකී කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.