මූලික පරීක්ෂණයක් හෝ සාධාරණ සැකයක් නැතිව කිසිවකු අත්අඩංගුවට ගත නොහැකි බව ආචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා මහතා කියයි. කොටදෙණියාව දැරියගේ ඝාතනයට පාසල් සිසුවා අත්අඩංගුවට ගැනීමේ ක්‍රමවේදයේ ගැටළු ඇතැයි ද ඔහු පවසයි.

‘කෙනෙකු අත්අඩංගුවට ගැනීමේ දී පොලිසිය විසින් මූලික පරීක්ෂණයක් කරනවා. නැත්නම් අත්අංගුවට ගැනීමට සාධාරණ හේතු තියෙනවද බලනවා. මූලික තොරතුරු කොහෙන් හරි එන්න පුළුවන්. මූලික තොරතුරු ආ  පමණින්ම අත්අඩංගුවට ගන්න බෑ. කෙනකුට කියන්න පුළුවන් තමන්ගේ තරහකාරයෙක් ගැන.

මේ අත්අඩංගුවට අරගෙන තියෙන්නෙත් අවුරුදු 17ක පාසල් ළමයෙක්. මේ ළමයාගේ මනස අවුල් වෙනවා. ළමයා ගන්න සාධාරණ සැකය මොකක්ද? නිවස පරීක්ෂා කළාම කිසිම දෙයක් තිබුණේ නෑ. ලැප්ටොප් පරිගණකයේ නිල් චිත්‍රපට තිබුණු බව කියනවා. ලංකාවේ පරිගණක ලක්ෂ ගණනක නිල් චිත්‍රපට තිබෙන්න පුළුවන්. ‘සෙක්ස්‘ වචනෙ වැඩියෙක් පරීක්ෂා කරලා පසුගිය වසර දෙකේ කප් ගැහුවේ ලංකාව. එහෙම තිබුණා කියලා කොහොමද ඝාතනයට සැක කරන්නේ?

මේ ළමයා අත්අඩංගුවට ගැනීමෙන් ඔහුට වුණු අපකීර්තියට මොකද කරන්නේ? ඒ හානියට මොකද කරන්නේ? කෙනකු අත්අඩංගුවට ගැනීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග තියෙනවා. පෙළපාළි යනවා කියා ඒවට ප්‍රතිචාර ලෙස අත්අඩංගුවට ගැනීම වැරදි.

පැහැදිලිව වරදක් තියෙනවා. මේ ළමයට පුළුවන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් දාන්න. ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය කඩ කරලා තියෙනවා. එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් කොමිසම ළඟ ළගම එනවා. පොලිසිය මේ කරන වැඩෙන් ජිනීවා වලට තව කරුණු සපයනවා ලංකාවේ මානව හිමිකම් කඩ වන බවට. ‘