
(රෝෂන් තුෂාර)
වසර 16 ක සිර දඬුවම් නියම වූ හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධනට එරෙහිව පවතින තවත් අල්ලස් නඩුවකට අත්හිටවූ සිර දඬුවමක් ලබාදීමට කටයුතු සම්පාදනය කිරීමට රුපියල් හත්ලක්ෂ පනස් දහසක මුදලක් ලබා ගත්තේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කොළඹ මහාධීකරණ ආරච්චිවරයා ලබන 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කළේය.
මහාධිකරණ විනිසුරුවරයා කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ගලගෙදර ආරච්චිලාගේ චරිත් කුමාර නැමැති සැකකරුවකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
සිද්ධියට සම්බන්ධ යැයි කියන අත්තනගල්ල අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයකු සහ කොළඹ මහාධිකරණ පොත් බැඳුම්කරුවෙකු වන කනිෂ්ක යන අය සම්බන්ධයෙන් විමර්ශනය කර අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙසට අල්ලස් කොමිසමට නියෝගයක් ද නිකුත් කළේය.
සැකකරු විසින් රුපියල් හත්ලක්ෂ පනස්දහසක අල්ලසක් ලබා ගත්තේ යැයි සඳහන් කළද ඔහුගේ බැංකු ගිණුමේ විස්තර අනුව මේ වන විට අනාවරණය වී ඇත්තේ රුපියල් පනස් දහසක මුදලක් පමණක් බැවින් අදාල බැංකු ගිණුම් සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළේය.
සැකකරුට ඇප ලබාදෙන ලෙසට සැකකාර පාර්ශ්වයෙන් ඉල්ලීම් කළද විමර්ශන තවදුරටත් සිදු කරන බැවින් මෙය ඇප ලබාදීමට අවස්ථාව නොවන බව මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම කරුණු දක්වමින් කියා සිටියේ මහාධිකරණ විනිසුරුවරයා කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවය.
අල්ලස් කොමිසමේ නිලධාරින් මෙසේද පැවසීය.
අධිකරණ තීන්දුවක් පරිදි වසර 16ක සිරදඬුවම් නියම වී සිටින සරණ ගුණවර්ධන යන අයට එරෙහිව පවතින තවත් නඩුවක තීන්දුව ලබාදීමේදී අත්හිටවූ සිරදඬුවමක් ලබාදීමට කටයුතු සම්පාදනය කිරීමට මෙම මුදල් ගනුදෙනුවක් සිදුවී ඇති බව කරුණු අනාවරණය වෙනවා.
සැකකරු මහාධිකරණ විනිසුරුවරයාට දුරකථනයෙන් අමතා නඩුවක් ගැන විමසීම් කර ඇති බව පැවසෙනවා. එම අවස්ථාවේදී විනිසුරුවරයා විසින් මගෙත් එක්ක නඩු ගැන කතා කරන්න ඔයාට පුළුවන්ද? කියලා අහලා තියෙනවා. සැකකරු එම අවස්ථාවේදී මේ කාරණය උසාවියේදී කතා කළ නොහැකි බවත්, හමුවී කතා කළ හැකි බවත් පවසා තිබෙනවා. පසුව විනිසුරුවරයාගේ ප්‍රතිචාරය මත අදාල කරුණ විනිසුරුවරයාට දුරකථනයෙන් දැනුම් දී තිබෙනවා. එම අවස්ථාවේම විනිසුරයා විසින් අදාළ කරුණ අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගත්තා. සැකකරුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී සරණ ගුණවර්ධන යන අයගේ බිරිඳ සමඟ වට්ස්ඇප් මගින් සංවාද පවත්වා ඇති බව අනාවරණය වුණා. සැකකරුගේ දුරකථන සංවාද හා යොමු කළ රිසිට්පත් අනුව රුපියල් පනස් දහසක මුදලක් වරින් වර ගිණුම්ගත කර තිබෙනවා.
මෙහිදී පැමිණිල්ලට ප්‍රශ්නයක් යොමු කළ මහේස්ත්‍රාත්වරයා රුපියල් හත්ලක්ෂ 50000ක මුදලින් රුපියල් ලක්ෂ පහක මුදලක් දුන්නේ යැයි කියන මහාධිකරණ පොත් බැඳුම්කරුවකු වන ධනුෂ්ක යන අය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළාදැයි විමසා සිටියේය. ඊට ප්‍රතිචාර දැක්වූ විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටියේ.
එම පොත් බැඳුම්කරු අල්ලස් කොමිසමට කැඳවා ප්‍රකාශ සටහන් කරමින් පවතින බවය. සිද්ධියට සම්බන්ධ යැයි කියන අත්තනගල්ල රෙජිස්ට්‍රාර්වරයා සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවද පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය සිදු කරන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද ඉල්ලා සිටියේය. සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අරුණ පතිරණ මහතා කරුණු දක්වමින් මෙසේ පැවසීය.
සිද්ධිමය කරුණු සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී මා අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්නේ නැහැ. එය ඉතාමත් බැ?රුම් සංකීර්ණ හා ප්‍රවේශම් සහගත කාරණාවක්. සැකකරුගේ වට්සැප් ගිණුමෙහි තිබී අනාවරණය කර ගත් බැංකු ගිණුම ඔහුගේ නොවන බව ප්‍රථමයෙන් සඳහන් කරනවා. නමුත් මෙම උසාවි නිලධාරියා සම්බන්ධයෙන් පුද්ගලිකව මා දන්නා හින්දා මෙම කරුණු අධිකරණයට ඉදිරිපත් කරනවා. ඔහු උත්සාහ කර තිබෙන්නේ. මෙවන් ගනුදෙනුවක් සිදු වෙනවා ඒකෙන් විනිසුරුවරයාට විය හැකි අපකීර්තියෙන් මුදවා ගන්නයි. ඔහු සුදුසු ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා සිටිනවා.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශන සිදු කරන බැවින් ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd