( +++ ජයන්ත සමරකෝන්)

මහරගම අපේක්ෂා රෝහලට හිඟ අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට භාණ්ඩාගාරයෙන් වෙන්කළ රුපියල් කෝටි 100න් කෝටි  80ක්ම කලින් ණයට ලබාගත් ඖෂධ වෙනුවෙන් හිඟ බිල්පත් ගෙවීමට වැය වන බව එම රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා ‘ලංකාදීප’ යට ඊයේ (11) පැවසීය.

මෙම රෝහලේ කලක් තිස්සේ පැවති ඖෂධ හිඟය ගැන අවධානය යොමු කළ නව රජයේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ නිර්දේශය මත අත්‍යවශ්‍ය ඖෂධ සඳහා පසුගිය 7 වැනිදා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 100ක් වෙන්කරදී ඇත. හිඟ බිල්පත් ගෙවීමෙන් පසුව මේ වන විට රෝහලේ හිඟවී පවතින ඖෂධ 24 අතුරින් 15ක්ම හදිසි මිලදී ගැනීම් ක්‍රමවේදය යටතේ ප්‍රදේශීය ලෙස මිලදී ගත් බවද අධ්‍යක්‍ෂවරයා කීය.

ගතවූ වසර 5 තුළ රාජ්‍ය ඖෂධ සංස්ථාවට හා පෞද්ගලික ඖෂධ සමාගම් රැසකට හිඟ බිල්පත් නොගෙවීම නිසා කිසිදු අත්‍යවශ්‍ය ඖෂධයක් මිලදී ගැනීමට නොහැකි වූ බවද ඔහු සඳහන් කළේය.

රෝහලට අත්‍යවශ්‍ය තවත් ඖෂධ වර්ග 9ක් විදේශවලින් මිලදී ගැනීමට ඇනවුම් කර ඇතැයිද ඔහු පැවසීය.