(නිමන්ති රණසිංහ)

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු සහ මහාපරිමාණ මත්කුඩු ඡාවාරම්කරුවකු වන ‘පානදුර සළිඳු’ නමැත්තා මත්ද්‍රව්‍ය ඡාවාරමෙන් නිතිවිරෝධීව උපයා ගත් රුපියල් කෝටි 2ක මුදලක් උණ්ඩියල් ක්‍රමයට ඩුබායි රාජ්‍යයට යැවූ බව කියන සැකකරුවන් දෙදෙනා එක් අයකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට පානදුර මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද (23) නියෝග කළේය.

මෙලෙස ඇප මත මුදාහරිනලැබුවේ හැඳල, වත්තල ප්‍රදේශයේ පදිංචි ශම්මුග ෂුන්දරම් වසන්ත කුමාර් සහ දෙමටගොඩ පදිංචි මොහොම්මදු ශිරාජ් යන අයවලුන්ය.

සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කළ අධිකරණය, සෑම මසකම අවසන් ඉරුදින පෙරවරු 9ත් 12ත් අතර කාලයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ද සැකකරුවන්ට නියෝගයක් නිකුත් කළේය.

මේ වන විට ඩුබායි රාජ්‍යයේ සැගව සිටින බව කියන පානදුර කුඩා අරුක්ගොඩ ලිපිනැති සෙල්ලපෙරුමගේ සළිඳු මල්ෂික නොහොත් ‘පානදුරේ සළිඳු’ නැමැත්තා මත්ද්‍රව්‍ය ඡාවාරමෙන් සහ සංවිධානාත්මක අපරාධ සිදුකරමින් නිතිවිරෝධී අන්දමින් මුදල් උපයා ඇති බවට වන තොරතුරු අනුව සිදුකළ විමර්ශනයට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවේ නිතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී.

මෙම සිද්ධියට අදාළව සළිඳු මල්ෂික නමැත්තා පළමු සැකකරු ලෙස නම් කරන ලෙසත් අනෙක් සැකකරුවන් දෙදෙනා පිළිවෙළින් දෙක සහ තුන වශයෙන් නම් කරන ලෙසත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා තිබිණී.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න, එම දෙපාර්තමේන්තුවේ නිතිවිරෝධී වත්කම් විමර්ශණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල්, එහි සහකාර පොලිස් අධිකාරී අනුර ප්‍රේමරත්න යන නිලධාරින්ගේ උපදෙස් මත එම කොට්ඨාසයේ විමර්ශන ඒකක 01 හි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කීර්ති පෙරේරා මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.