(යොහාන් භාසුර)

පොළොන්නරුවේ සහල් මාෆියාවට පිළිතුරක් ලෙස පමණක් රජය සහල් ආනයනය කරන බවත් පොළොන්නරුවේ සහල් මෝල්හිමියන් සිංහල අලුත් අවුරුද්ද වන විට සහල් කිලෝවක් රුපියල් 300 කට අළෙවි කිරීමට සැළසුම් කරමින් සිටි බවත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (17) පැවසීය.

ගෝලීය අර්බුද කිසිවක් නොමැතිව යහපාලන රජය 2014 වසරේ සහල් මෙට්‍රික්ටොන් ලක්‍ෂ 6 ක්, 2015 දී මෙට්‍රික්ටොන් 286,000 ක්, 2016 දී මෙට්‍රික්ටොන් 29,000 ක්, 2017 දී මෙට්‍රික්ටොන් 745,000ක් සහ 2018 දී මෙට්‍රික්ටොන් 249,000 ක් වශයෙන් සහල් ආනයනය කළ බව කී අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය බලයට පත් වීමෙන් පසුව 2020 වර්ෂයේදී සහල් මෙට්‍රික්ටොන් 16,000 ක් පමණක් ආනයනය කළ බව ද සඳහන් කළේය.

එම සහල් ආනයනය කිරීම හුදෙක්ම සහල් මාෆියාව පාරිභෝගිකයා සූරා කෑම වළක්වාලීමේ පියවරක් පමණක් වූ බවත් කිසිදු අර්බුදයක් නොමැතිව සෑම දෙයක්ම ආනයනය කළ යහපාලන රජයේ නියෝජිතයන් පාරිභෝගිකයාට සහන සැලසීමේ වර්තමාන ක්‍රියාමාර්ග පිළිබඳව දුර්මත පතුරවන බවත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කීය.