යුද්ධයෙන් පසු  මෙරට සංහිඳියාව ඇතිකරලීම සඳහා ගත යුතු පියවර පිළිබඳව මහජන අදහස් ඇසුරෙන්  සකස් කළ අවසන් වාර්තාව අඟහරුවාදා (03) මෛත්‍රීපාල සිරිසේන ජනපති, අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් වෙත භාරදෙන බව සංහිදියා යාන්ත්‍රණය උදෙසා ප්‍රවිචාරණ කාර්යය සාධක බලකාය පවසයි.

පසුගිය මාස කිහිපයකට පෙර මෙම මහජන අදහස් විමසීම් ආරම්භ කෙරුණු අතර , එලෙස ලැබුණු යෝජනාවල මූලික කරුණු ඇතුළත් කරගනිමින් මෙම අවසන් වාර්තාව සකස් කර ඇති බව කාර්යය සාධක බලකායේ ලේකම් ආචාර්ය පාක්‍යෙසෝති සරවනමුත්තු මහතා  අද (02) පැවසීය.

අඟහරුවාදා (03) සවස 7.30 ජනාධිපතිවරයාට පිළිගැන්වීමෙන් අනතුරුව එම අවසන් වාර්තාව www.scrm.gov.lk යන කාර්යසාධක බලකායේ නිල වෙබ් අඩවියේ ප්‍රකාශයට පත්කරන බවද කාර්ය සාධක බලකාය සඳහන් කර සිටියි.

රටේ සංහිඳියා යාන්ත්‍රණය කුමන ආකාරයෙන් සිදුවිය යුතු ද යන්න පිළිබඳ මහජන අදහස් ලබා ගැනීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත සංහිඳියා යාන්ත්‍රණ උදෙසා ප්‍රවිචාරණ කාර්යය සාධක බලකාය පිහිටුවනු ලැබීය. එහි සභාපතිනිය ලෙස අධිනීතීඥ මනෝරී මුත්තෙට්ටුවේගම මහත්මිය පත්කළ අතර එහි සෙසු සාමාජිකයින් වන්නේ ආචාර්ය පාකියසෝති සරවනමුත්තු (ලේකම්) ,  ගාමිණි වියන්ගොඩ , විසාකා ධර්මදාස , ශාන්තා අභිමානසිංහම් , මහාචාර්ය චිත්‍රලේඛා මෞනගුරු  , කේ. ඩබ්. ජනරංජන , මහාචාර්ය දයා සෝමසුන්දරම්  , ආචාර්ය ෆර්සානා හනිෆා , මහාචාර්ය ගමීලා සමරසිංහ , මිරාක් රහීම් යන මහත්වරුන් කටයුතු කරනු ලැබීය.

විශේෂයෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල මෙය කුමන ආකාරයෙන් ක්‍රියාත්මක විය යුතුද යන්න ආකාරය සම්බන්ධයෙන් සංහිඳියා යාන්ත්‍රණය උදෙසා ප්‍රවිචාරණ කාර්යය සාධක බලකාය දැඩි අවධානයකින් යුතුව කටයුතු කර තිබේ.