( සුජිත් හේවාජුලිගේ සහ  නිමන්ති රණසිංහ)

කොළඹ ආනන්ද විද්‍යාලයේ දහතුන් හැවිරිදි ශිෂ්‍යයකු පැළඳ සිටි සපත්තුවක්  ඇතුළත කුඩා නයි පැටවකු සිට හමුවීමේ සිද්ධියක්  වාර්තා වෙයි.

සපත්තුව  ඇතුළත සිට මෙම  කුඩා නයි පැටියා හමුවී ඇත්තේ  අද (23) උදෑසනය.

සිසුවා පාසලට බස් රථයකින්  පැමිණෙමින් සිටියදී ඔහුගේ එක් සපත්තුවක ඇතුළතින් යමක් දඟලන බව දැනී පාසලට පැමිණ සපත්තුව ගැලවූ අවස්ථාවේදී  මෙම කුඩා නයි පැටියා හමුවී ඇත.

නයි පැටියා හමුවීමෙන් පසු එම ශිෂ්‍යයා විද්‍යාලීය ගුරුවර ගුරුවරියන් විසින්  කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමට  පියවර ගනු ලැබීය.

මේ සම්බන්ධයෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජේ විජේසූරිය මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ළමයාට නයි පැටියාගෙන් විස ශරීර ගතවී නැති බවට වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරුවී ඇති බවයි.

ළමයා රෝහලේ  8 වෙනි වාට්ටුවේ හොඳ ශරීර සෞඛ්‍යය තත්වයෙන් පසුවන බවද  ඔහු සඳහන් කළේය.

නයි පැටියකු රිංගා සිටි සපත්තුව පැළඳ සිටි ශිෂ්‍යයා කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ළමයාගේ සපත්තුවට නිවෙසේදී මෙම නයි පැටවා  රිංගා ගන්නට ඇතැයි විශ්වාස කෙරෙන බවත්  නයි පැටියා රිංගා සිටි සපත්තුව ළමයා  කිසිදු සෝදිසියකින් තොරව පැලැඳ පාසලට පැමිණෙන්නට ඇතැයි  පෙනී යන බවත්  රෝහලේ වෛද්‍යවරු පවසති.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ රෝහල් අධ්‍යක්ෂකවරයා පැවසුවේ දරුවන් සපත්තු දැමීමට පෙර ඒවා ඇතුළත මනාව පරික්ෂා කර බැලීම සඳහා  දරුවන් හුරු කරවීමට  මවුපියන් වගබලා ගත යුතු බවය.