(සුජිත් හේවාජුලිගේ)

ගුවන් යානා සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීමට ඛනිජ තෙල් සංස්ථාවට නොහැකිනම් එම ඉන්ධන ආනයනය පෞද්ගලික අංශයේ පාර්ශවයකට ලබාදිය යුතු බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත.

ගුවන් යානා ක්ෂේත්‍රය නැවත ස්ථාපිත කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන පැවැත්විණ.

මේ සාකච්ඡාවට එක් වූ ගුවන් සමාගම් පෙන්වා දී ඇත්තේ විශේෂයෙන්ම සංචාරක සමය ආරම්භ වන ඉදිරි මාසවලදී ගුවන් ගමන් වැඩි ප්‍රමාණයක් කටුනායක ගුවන් තොටුපළ හරහා සිදුවනු ඇති බවයි.

ගුවන් යානා සඳහා අඛණ්ඩව ඉන්ධන ලබා දීම අත්‍යවශ්‍ය කාරණයක් බව ද ඔවුන් පෙන්වා දී ඇත.