(යොහාන් භාසුර සහ ජයමාල් චන්ද්‍රසිරි)

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට සිවිල් සංවිධාන නියෝජිතයන් කීපදෙනෙක් පැමිණීමෙන් උණුසුම් තත්වයක් අද (28) පෙරවරුවේ ඇති විය.

සිවිල් සංවිධාන ක්‍රියාකරුවන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානය ඉදිරිපිට පොල් ගැසීමට සූදානම් වීමත් සමඟ උණුසුම් තත්වයක් ඇති විය. එම කාර්යාලයේ සිටි පිරිසක් සහ සිවිල් සංවිධාන ක්‍රියාකරුවන් අතර ගැටටුමක් ඇතිවීමට ගිය ද පොලිසිය මැදිහත්ව පිරිස විසුරුවා හැරීය.

එම පොල් ගෙඩිවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන් දෙදෙනෙක්ගේ නම් සහ පොහොට්ටුව ලෙස සටහන් කර තිබූ අතර ඔවුහූ පාරේ පොල් ගසා විසිර ගියහ.

දෙපිරිස අතර ගැටුමක් ඇතිවීම වැලැක්වීම සඳහා කැරලි මදර්දන පොලිසිය ද කැඳවා තිබුණි.

එහිදී එම ස්ථානයෙන් වාහනයකින් ගිය අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට ද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වූ අතර එහිදී අමාත්‍යවරයා පැවසවේ නැවතත් රට විනාශ කිරීමට එම පිරිස උත්සහ කරන බවයි.