(විනීතා එම් ගමගේ)       

සංවර්ධන ව්‍යාපෘති හා සංවර්ධන උපාය මාර්ගයන් සඳහා වාර්ෂිකව හෙක්ටයාර් 8000 කට අධික කැලෑ ඉඩම් හෙළි පෙහෙළි වන බව අලූත්ම සංඛ්‍යා ලේඛන වලින් හෙළි වෙතැයි පරිසර යුක්ති කේන්ද්‍රය කියයි. 

මෙම ඉඩම්වලින් වැඩිම ප‍්‍රමාණයක් එළි කෙරෙන්නේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති  සඳහා යැයි පරිසර යුක්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා ලංකාදීපයට පැවැසීය. 

එමෙන්ම  මහා පරිමාණ වගාවන් සඳහා ද වැඩි ප‍්‍රමාණයක් ඉඩම් එළිවෙන බවත් ඊළඟට ඉඩම් වැඩි ප‍්‍රමාණයක් එළිවෙන්නේ නැවත පදිංචි කිරීම් සඳහා බවත් හෙතෙම සඳහන් කලේය.

වනාන්තර එළි කිරීම්වලින් සිව්වන ස්ථානය ගන්නේ අනවසර වගාවන් සඳහා හේන් එළිකිරීම් යැයි කී විතානගේ මහතා මෙසේ ඉඩම් එලි පෙහෙළි කිරිම රටට බරපතල හානි ගෙන දෙන්නේ යැයි ද කීය. 

විශේෂයෙන් අධික බෑවුම් සහිත ප‍්‍රදේශවල තේ කටුපොල් වැනි වගාවන් සඳහා වනාන්තර එළිකිරීම හා තේ වගාවන් හිදී වල්පැල ඉවත් කිරීම සඳහා ග්ලියෆොසේට් භාවිතා කිරීමත් මහා විනාශයක් ඇති කරන බව ද හෙතෙම තව දුරටත් සඳහන් කළේය. 

ධාරාණිපාත මෝසම් වැස්ස ජීවිත විශාල ප‍්‍රමාණයක්  බිලි ගනිමින් බරපතල දේපල හානියක් ද කරනු ලැබුයේ සංවර්ධන කී‍්‍රයාදාමයේ ප‍්‍රතිපලයක් ලෙසින් යැයි කිවයුතු යැයි ද මේ තත්ත්වය පිළිබඳව ඉකුත් දශක 3 දි පරිසරවේදින් වරින් වර පෙන්වා දුන් බවත් ඔහු පැවැසීය.