19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැන් නීතිගතවී ඇති බැවින් ස්වාධීන අධිකරණයක් ඇති කර ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන් සිය ධුරවලින් ඉල්ලා අස්වී නව ව්‍යවස්ථාව යටතේ එම ධුරවලට සුදුදු පුද්ගලයන් පත් කර ගැනීමට ඉඩ ප්‍රස්ථාව සලසා දෙන්නැයි පුරවැසි බලය සංවිධානය ඉල්ලයි.

නව පත්කිරීම්වලදී දැනට සිටින විනිසුරුවරුන් අතුරෙන් සුදුසුකම් ඇති විනිසුරුන් හා අවශ්‍ය නම් පිටතින් සුදුසු පුද්ගලයන් පත් කරන ලෙස එම සංවිධානය රජයට කියයි.

පුරවැසි බලයේ සම කැඳවුම්කරුවන් වන ධර්මසිරි බණ්ඩාරනායක, ගාමිණී වියන්ගොඩ, සමන් රත්නප්‍රිය, ජෝසප් ස්ටාලින් සහ කේ ඩබ්ලිව් ජනරංජන මහත්වරු නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරති.

18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා අධිකරණයේ ස්වාධීනත්වය හා සුපිළිපන් භාවය සම්බන්ධයෙන් රටේ පරමාධිපත්‍යය හිමි මහජනතාව අතර  හටගත් සැක සංකා ඉවත් කොට ස්වාධීන හා සුපිළිපන් අධිකරණ පද්ධතියක් රටේ ස්ථාපති කළ යුතු බව ද ඔවුහු පවසති.