පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් මාලිගාකන්ද මහෙස්ත‍්‍රාත් අධිකරණයට හෙරොයින් අඩංගු පාර්සලය ගෙන ගොස් බාරදී ඇතැයි කීවත් එලෙස එම හෙරොයින් අඩංගු පාර්සලය ගෙන ගොස් බාරදුන් අයෙකුගේ නමක් හෙළිදරව් නොවීම නිසා හෙරොයින් ළඟ තබා ගත් බවට චෝදනා ලැබ සිටි සිව් දෙනෙක් කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසුරිය මහතා විසින් නිදොස් කොට නිදහස් කරනු ලැබූහ.

පොලිස් මත්ද්‍රවය නාශක කාර්යංශයේ නිලධාරියකු මාලිගාකන්ද මහෙස්ත‍්‍රාත් අධිකරණයේ භාණ්ඩ භාරකරුවකුට මෙම හෙරොයින් පාර්සලය බාර දී ඇතත් භාණ්ඩ බාර ගත් කෙනකු නැති හෙයින් විත්තියේ මාලිගාවත්තේ දූවගේ රොහාන් හෙවත් මංජුල, කැලූම් ප‍්‍රියන්ත රත්නායක, හර්ෂණ සුරංග මාගෙදර සහ ප‍්‍රියංගනී පෙරේරා හෙවත් ශ්‍යාමලි  නිදහස් කරනු ලැබූහ.

2000 අපේ‍්‍රල් මස 26 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මාලිගාවත්තේදී හෙරොයින් ග‍්‍රෑම් 12.24ක් ලඟ තබා ගන්නා ලදැයි නීතීපතිවරයා  විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා තිබිණි.

විත්තිකරුවන් සමඟම හෙරොයින් ග‍්‍රෑම් 17ක් අඩංගු පැකට් 23ක්ද හෙරොයින් පැකට් කිරීම ස`දහා වීදුරුවක් මත දමා තිබු හෙරොයින් ග‍්‍රෑම් 12ක්ද බ්ලේඞ් තල, ඊයම් කොළ පැකට් තොගයක්ද උසාවියට ඉදිරිපත් කළ බව පොලිසිය උසාවියේදී කීවේය.

මාලිගාකන්ද මහෙස්ත‍්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ බාරකරු ලෙස 2000 අපේ‍්‍රල් මාසයේදී කටයුතු කළ අයි. අනුෂිකා මහත්මිය විත්තියේ නීතීඥවරුන්ගේ හරස් ප‍්‍රශ්න වලට පිළිතුරු දෙමින් කියා සිටියේ නඩු භාණ්ඩ 2000.04.23 වැනිදා තමන් බාර ගෙන නොමැති බවයි. 2001.05.21 වැනිදා එම භාණ්ඩ බාරගත් අය කවුරුන්ද යන්න තමන් නොදන්නා බවත් ඇය කීවාය.

ශුද්ධ හෙරොයින් ග්‍රෑම් 2 ක් ළඟ තබාගැනීම සඳහා මෙරට නීතිය අනුව උපරිම දඬුවම මරණ දඬුවම වන අතර අවම දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබාදීම වේ.