දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මන්ත්‍රීවරයාත් වහාම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉල්ලා අස්වී රජය සමඟ යළි සාකච්ඡා කළ යුතු යැයි දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරෙෂ් ප්‍රේමචන්ද්‍රන් පැවසුවේය.

රජය උතුරු නැගෙනහිර එකතු නොකරන බවත්, බුද්ධාගම පමණක් රාජ්‍ය ආගම කරන බවටත් ප්‍රකාශයක් නිකුත් කළ අවස්ථාවේදී මේ දෙදෙනා නිහඩව සිටීමෙන් දෙමළ ජනතාවගේ අපේක්ෂාවන් බිඳ වැටී ඇති බව කීවේය.

මේ හේතුවෙන් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉල්ලා අස්වී රජය සමඟ සාකච්ඡා කොට රජයේ ස්ථාවරය වෙනස් කරගැනීමට උත්සහ කළ යුතුව ඇති බව පෙන්වා දෙන සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් හිටපු මන්ත්‍රී  තමන් මේ ගැන ඔවුන් දෙදෙනාට ලිඛිතව දැනුම් දී ඇතැයි ද පැවසීය.

‘මේ රටේ දෙමළ ජනතාව අපේක්ෂා කරන්නේ උතුරු නැගෙනහිර එකතු කොට දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා වන අන්දමේ බලය බෙදාහැරීමේ ක්‍රමයක් බවට දෙමළ ජාතික සන්ධානය රජයට දැනුම්දී තිබියදී රජය සිය ස්ථාවරය දැනුම්දීමේදී දෙමළ ජනතාවගේ ඉල්ලීම් වලට ඇහුම්කන් නොදීම දෙමළ ජනතාව නොසළකා හැරීමක් ලෙසද ඔහු පෙන්වා දෙයි.

වත්මන් ජනාධිපතිවරයා බලයට පත් කිරීමේදීත්,නව රජයට දෙමළ ජනතාව සහාය ලබාදීමේත් අරමුණ වූයේ මෙම ඉල්ලීම් බව පවසන සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ව්‍යවස්ථා සංශෝධනයේදී එසේ කරන බවට රජය පොරොන්දු වී දැන් එය ඉටු නොකිරීම බරපතල අසාධාරණයක් බවද පෙන්වා දෙයි.