(ඩයනා උදයංගනී)

සර්වපාක්‍ෂික වැඩපිළිවෙලක් යටතේ තනතුරු බෙදීයාම සම්බන්ධයෙන් ඉදිරි සති දෙක තුළ අවසන් තීරණයකට එළඹීමට හැකිවනු ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ විධායක සභා ඇතිකිරීම, විපක්‍ෂය හා ආණ්ඩු පක්‍ෂය අතර විවිධ පාර්ලිමේන්තු තනතුරු හා ආයතනවල නායකත්වයන් බෙදීයාම පිළිබඳවත් මෙහිදී ලබන සතිය දෙක ඇතුළත අවසන් තීරණයකට එළඹිය හැකිවනු ඇතැයි ඇමතිවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

සර්වපාක්‍ෂික වැඩපිළිවෙලකට අදාළව පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධ විස්තරාත්මක වාර්තාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ බව කී ඇමතිවරයා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්‍ෂ අතර එකඟතාවක් ඇතිකරගෙන සර්වපාක්‍ෂික වැඩපිළිවෙලක් මේ දිනවල ක්‍රියාත්මක කරගෙන යන බවත්, ඒ යටතේ ජනාධිපතිවරයා පැවැත්වූ සාකච්ඡා සඳහා සහභාගී වූ පක්‍ෂ, පුද්ගලයන් ආදිය පිළිබඳ පූර්ණ විස්තරයක් ඉදිරිපත් වූ බවත් ඇමතිවරයා කීය.