සයිටම් ගැටළුව විසඳීමට ප්‍රතිපත්තිමය තීන්දු රැසක් ගෙන ඇති මොහොතක දේශපාලන අවශ්‍යතා අනුව වැඩවර්ජනවල නිරතවීම කනගාටුවට කරුණක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි.  ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ අනුරාධපුර පැවැති රැස්වීමක දී ය.

දේශපාලන අතකොළු  බවට පත් නොවී තමන්ගෙත්, රටේත් අනාගතය වෙනුවෙන් තම අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගන්නා ලෙස මෙහිදී සියලූ වෛද්‍ය පීඨ සිසුන්ගෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා   අධ්‍යාපනයේ දී කිසිදු දරුවෙකුට අසාධාරණයක් වීමට තමා ඉඩ නොතබන බවද අවධාරණය කළේය.

දේශපාලන අවශ්‍යතා අනුව සිදුකෙරෙන මෙම වැඩවර්ජනවලින්  පීඩාවට පත්වන්නේ වරප්‍රසාදලත් පංතිය නොව රටේ අහිංසක පොදු මහජනතාව බව   සිහිපත් කළ සිරිසේන මහතා ගැටළුවක් ඇත්නම් ඕනෑම වෘත්තීය සමිතියකට රජය සමග සාකච්ඡා කිරීමේ අවස්ථාව තිඛෙන බව ද කියා සිටියේය. 

සමස්ථ ලෝකවාසී බෞද්ධ ජනතාවටම බෞද්ධ දර්ශනය පිළිබඳ උතුම් පණිවිඩය ලබාදෙමින් එක්සත් ජාතින්ගේ ජාත්‍යන්තර වෙසක් දින උළෙල මෙවර ශ්‍රී ලංකාවේදී උත්කර්ෂවත් අන්දමින් සැමරීමට සියලූ කටයුතු සූදානම් කර ඇති මෙම අවස්ථාවේ පොදු ජනතාවගේ ජන ජීවිතය අඩාල කරමින් සහ රට නොසන්සුන් කරමින් වෛද්‍යවරුන්ගෙන් කොටසක් ඇතුළු  වෘත්තීය සමිති කිහිපයක් වැඩ වර්ජනවල නිරතවීම ඉතා කනගාටුදායක බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

 

(ඡායාරූප - චතුරංග සඳරැස්ගම)