(නිමල කොඩිතුවක්කු)

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය රැස්විමට තිබියදීද සාමකාමි උද්ඝෝෂකයන්ට පහර දිමෙන්  අපේ රට ජත්‍යන්තරය ඉදිරියේ අනතුරට ඇද දැමු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී පැවසීය.

මෙහි ප්‍රතිවිපාක ඉදිරියේදී රටටත් ජනතාවටත් භුක්ති විදීමට සිදුවනු ඇතැයි ද කිරිඇල්ල මහතා සඳහන් කළේය.

ලාබ ලබන ශ්‍රි ලංකා ටෙලිකොම් සහ රක්ශන සංස්ථාව පෞද්ගලීකරණයට විරෝධය පළ කරන බවත් විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා තවදුරටත් මෙසේ ද කීවේය.

"මේ රටේ සාමකාමී අරගලවලට ඇති අයිතිය ජාත්‍යන්තර නීතිය අනුව පිළිගැනීමක් තියෙනවා. 

පෙරේදා ලිප්ටන් වටරවුමේ සාමකාමී අරගලයක නිරත වෙච්ච අපේ දරුවන්ට පොලීසිය, ආරක්ෂක අංශ විසින් පහරදීමක් සිදු කළා. මේ ළමයින්ගේ ඉල්ලීම් වෙලා තියෙන්නේ විශ්වවිද්‍යාල විවෘත කරව්, බඩගින්න නැති කරව් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහත දමව් මර්දනය නැති කරව් වැනි අපේ රටේ සියලු දෙනාටම බලපාන ප්‍රශ්නයි.

ජාත්‍යන්තර ආධාර ජාත්‍යන්තර උදව් අවශ්‍ය වකවානුවක මේ වගේ අහිංසක සාමකාමී විරෝධතා කරුවන්ට පහර දීම අපේ රට අනතුරේ දැමීමක්. ලබන මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ රැස්වෙනවා. එහි දැනටමත් අපට විරුද්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ යෝජනාවක් සම්මත වුණා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවට නිවැරදි කළ යුතු කරුණු දැමුවාට තවමත් කිසි දෙයක් සිදු වෙලා නැහැ. සැප්තැම්බර් මාසයේ පසුගිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ අඩංගු කරුණු වලට අමතරව මෑතකදී සිදු වෙච්ච පහරදීම් වෘත්තීය සමිති නායකයන් අත්අඩංගුවට ගැනීම වැනි කරුණු අඩංගු වෙනවා. අපේ රට මේ බංකොලොත් භාවයෙන් ගොඩ එන්න අපිට ජාත්‍යන්තර ආධාර උපකාර අවශ්‍යයි. මෙවැනි සිදුවීම් හරහා ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමෙන් අපේ රටේ ජනතාව කබලෙන් ලිපට ඇද දැමීමක් සිදුවෙනවා.

ඒ වගේම අද රාජ්‍ය ආයතන ප්රතිව්යුහගත කිරීම සම්බන්ධයෙන් රටේම සංවාදයක් ඇති වෙලා තිබෙනවා. රජය අති විශාල ලාභයක් ලබන ආයතන පවා පුද්ගලික අංශයට පැවරීමට යනවා උදාහරණයක් වශයෙන් රක්ෂණ සංස්ථාව ගිය වසරේ මිලියන 10741 ලාභයක් තිබුණා ටෙලිකොම් එක මිලියන දොළොස්දහස් ආසන්න ලාභයක් තිබුණා. මේ ආයතන ප්‍රතිව්‍යුහ ගත කිරීමට කිසිම අවශ්‍යතාවයක් නෑ. 

එයාර් ලංකා සමාගමත් සමග මේ අයතන දෙකත් ප්‍රතිව්‍යුගත කරනවා කියලා රජයෙන් නිවේදනයක් මම දැක්කා. පාඩු ලබන ආයතන ගැන අපට ප්‍රශ්නයක් නැහැ. නමුත් ලාභ ලබන රක්ෂණ සංස්ථාව ටෙලිකොම් වැනි ආයතන පෞද්ගලික අංශයට දෙනවට අපි විරුද්ධයි.