
(යොහාන් භාසුර සහ ගයාන් සූරියආරච්චි)
මැදපෙර කළාපයේ නිර්මාණය වී ඇති යුධමය තත්වය හේතුවෙන් රටේ බලශක්තිය ඉතිරි කිරීමේ පියවරක් ලෙස බදාදා දිනය රජයේ නිවාඩු දිනයක් කිරීමට තීරණය කළ බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා අද (16) පැවසීය.
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (16) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එසේ නිවේදනය කළේය.
ඒ අනුව සෑම සතියේ දිනම බදාදා රජයේ නිවාඩු දිනයක් වන අතර සෞඛ්‍ය, වරාය, ජලය සහ රේගුව යන ආයතනවලට එම නිවාඩුව බලනොපැවැත්වෙන බවත් පාසල්, විශ්වවිද්‍යාල සහ අධිකරණ ආයතනවලට බදාදා නිවාඩුව හිමිවන බවත් ඒ මහතා කීය.
රජයේ ආයතනවලට කැඳවන නිලධාරීන්ගේ සංඛ්‍යාව සහ ඔවුන් කැඳවන ආකාරය තීරණය කිරීමේ බලය අමාත්‍යංශය සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට දී ඇති බවත් සෙනසුරාදා සහ ඉරිදා යන දින රාජ්‍ය සේවයේ නිවාඩු දිනයන් වීම නිසා ඉදිරියේදී මුහුණදීමට සිදුවන තත්වය පිළිබඳව පුරෝකථනය කිරීමේ හැකියාව ලැබෙන බවත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේය.
සියලුම රාජ්‍ය උත්සවය නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව අත්හිටුවූ බව කී චන්ද්‍රකීර්ති මහතා බදාදා නිවාඩුව වාණිජ මණ්ඩලය සහ ලංකා සේව්‍ය සම්මේලනය හරහා පෞද්ගලික අංශයටත් අදාල කරගැනීමට ඉල්ලීමක් කරන බව ද සඳහන් කළේය.
දැනට ක්‍රියාත්මක කර ඇති කිව්ආර් ඉන්ධන ප්‍රමාණයන් පොදුවේ නිකුත් කර ඇති ප්‍රමාණයක් වන අතර සංචාරක, කර්මාන්ත සෞඛ්‍ය, කෘෂිකර්මය සහ වැලිකර්මාන්ත ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධණ ප්‍රමාණයන් ගණනය කර නිවේදනය කරන බවත් අත්‍යවශ්‍ය ආහාර බෙදීමට ඇතුළු ප්‍රවාහන අත්‍යවශ්‍ය ප්‍රවාහන කටයුතු සඳහා ද ඉන්ධන ප්‍රමාණය ද ඉදිරියේදී තීරණය කර ඉන්ධන නිකුත් කිරීමට බලපොරොත්තු වන බවත් ඒ මහතා කීය.
මෙම තත්වයට මුහුණදීම සඳහා අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව කමිටු 4 ක් පත්කර ඒ අනුව රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යෑමට අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් ද, බලශක්ති කමිටුව විජිත හේරත් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ද, අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සහ අධීක්ෂණය කිරීම සදහා බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ද, විවිධ සමාජ ස්ථරවලට සුබසාධනය සැපයීම සඳහා උපාලි පන්නිලගේ අමාත්‍යතුමාගේ ප්‍රදානත්වයෙන් ද, එම කමිටු පත්කළ බව ඒ මහතා පැවසීය.
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා වැඩි දුරටත් කිව්ආර් කේතය සකස් කිරීමේදී පරණ කේතය භාවිත කිරීමට හැකිවන පරිදි සකස් කර තිබු අතර එම වාහන වෙනත් අයකුට පාවරා ඇත්නම් සහ දුරකථන අංක වෙනස්වීම් සම්බන්ධයෙන් ගැටලු මතුවී තිබූ බවය.
පාසල් සිසුන්ට සහ විශ්වවිද්‍යාල සිසුන්ට බදාදා දිනයේ නිවාඩු දීම හේතුවෙන් සූම් තාක්ෂණයෙන් ඉගැන්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් තීරණ ගැනීම සදහා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාට බලය පවරා ඇති බව ද ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා කීය.
අලුත් අවුරුදු නිවාඩුව අප්‍රෙල් 10 වැනිදා ආරම්භ වන අතර මේ සියලු දේ නිසා යම් බලපෑමක් පාසල්වල විභාග සදහා යම් මට්ටමේ බලපෑමක් ඇති විය හැකි අතර ඒවා අපට වැළැක්විය නොහැකි බව කී චන්ද්‍රකීර්ති මහතා පැවසුවේ යම් දුරට විභාග යම් ආකාරයක දින වකවානු තිබුණාට වඩා කල් යෑමට ඉඩ ඇති බවය.
ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යවරිය සහ අමාත්‍යවරු ඇතුළු බලධාරීන් සියලුම දෙනාගේ සහභාගිත්වයෙන් අද (16) පස්වරුවේ පැවැති විශේෂ සාකච්ඡාවකින් පසුව මෙම තීරණවලට එළෙඹි බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
මෙම මාධ්‍ය හමුවේදී රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පලාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ආලෝක බණ්ඩාර මහතා පැවසුවේ දින පහේ වැඩ සතියේ මැද දිනය වන බදාදා දිනය කාර්යාල කටයුතු සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන අතර බලශක්ති පරිභෝජනය අඩු කිරීමත් ඉන්ධන සංචිතයන් දීර්ඝ කාලයක් පවත්වාගෙන යෑමට සහ අරපිරිමැස්මෙන් පාවිච්චි කිරීමට මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවත් පාසල්වලටත් එම දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් වන බවය.
සෙසු දින හතරේදී නිලධාරියන් කැඳවීම සිදුවන අතර අවශ්‍ය අවස්ථාවලදී අමාත්‍යංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට තීරණ ගත හැකි තත්වයක් ඇති කිරීමට බලාපොරොත්තු වන අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, පළාත් පාලන සේවා සපයන ආයතන, දිට්වා කුණාටුවෙන් අනතුරුව නැවත ප්‍රතිසංස්කරණ කටයුතුවලට බාධාවක් නොවිය යුතු ආකාරයෙන් දිස්ත්‍රික් ලේකම් ලේකම්වරුන්ට තීරණ ගැනීමට හැකියාව ඇති බවද බණ්ඩාර මහතා පැවසීය.
විදුලිය සහ ඉන්ධන අර පිරිමැස්මෙන් භාවිතා කිරීම සම්බන්ධයෙන් 2022 වශයෙන් නිකුත් කළ චක්‍රලේඛයට අනුව එය තවමත් වලංගු බව කී බණ්ඩාර මහතා පැවැසූවේ අත්‍යවශ්‍ය කොමසාරිස් ජනරාල්වරයා පැවසූ පරිදි සියලු උත්සව සම්මන්ත්රණ කටයුතු සීමා කිරීම සඳහා තීරණය කළ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd