එක් පුද්ගලයෙකු වටා බලය විශාල වශයෙන් ගොනු කර සුපිරි ඇමතිවරයකු බිහිවන ආකාරයෙන් කරන නීතිමය ප‍්‍රතිපාදනයකට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කිසිසේත්ම එකඟ වන්නේ නැතැයි ඛනිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පැවසීය.

සමහරුන් පසුගිය කාලයේ සුපිරි ඇමතිවරුන් ලෙස කටයුතු කිරීම නිසා ආණ්ඩුවට වූ විනාශය මෙන්ම රටේ ඇතිවූ ව්‍යාකූලතාව ගැන තමන් දන්නා බව කී ඇමති මේ අවස්ථාවේදී සියලූ දෙනා අවධානය යොමු කළ යුත්තේ කඩිනමින් ආයෝජන ගෙනඒමට හා සංවර්ධන ක‍්‍රියාවලිය කඩිනම් කිරීමට අවශ්‍ය නීතිමය ප‍්‍රතිපාදන සකස් කිරීමට යැයි ද සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්‍ෂයේ සමහරුන් මොනවා කීවත් බැසිල් රාජපක්‍ෂ මහතාගේ නායකත්වය ඇති පක්‍ෂයට යාමට කැමති පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු සොයාගැනීම නොමළ ගෙයකින් අබ සොයනවා වැනි ක‍්‍රියාවක් වී ඇතැයි කී වීරක්කොඩි මහතා නව පක්‍ෂයට එක් වී සිටින්නේ පසුගිය රජය පරාජයට හේතු වූ අය පමණක් බව ද ප‍්‍රකාශ කළේය.

ඉන්දියා තෙල් සමාගම මගින් නිසි ප‍්‍රමිතියකින් තොර පෙට්‍රල් ගෙන්වා වෙළඳපළට නිකුත් කර ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් සෙවීමට පරීක්‍ෂණයක් පවත්වන බව ද වීරක්කොඩි මහතා පැවසීය.එවැන්නක් සිදුවී ඇත්නම් අනිවාර්යයෙන්ම එම සමාගමට එරෙහිව පියවර ගන්නා බව ද හේ කීවේය.