(මනෝප්‍රිය ගුණසේකර)

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා කඳාන ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගෙන එම මුදල ලබානොදී විශ්වාසය කඩ කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ උපුල් ශාන්ත සන්නස්ගල මහතා ඇප මත මුදාහැරීමට වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා අද (25) නියම කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත්වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.

සිද්ධියට අදාළව කරරන ලද විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ කදාන පොලිසියේ නිලධාරීන් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා මාසයක කාලයක් තුළ ගෙවීමේ පොරොනදුව මත සැකකරු පැමිණිලිකරුගෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගෙන ඇතැයිද එම මුදල නියමිත දිනයේදී ලබානොදී විශ්වාසය කඩ කර ඇතැයිද කීය.

මේ පිළිබද ලැබුණු පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව දැනුම් දුන් කදාන පොලිසියේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයේ තවදුරටත් විමර්ශන කරන හෙයින් සැකකරු රිමාන්ඩ් කරන්නැයි ඉල්ලා සිටියහ.

සැකකරු වෙනුවෙන් පෙනී සිටී නීතීඥවරුන් කරුණු දක්වමින් තම සේවාදායකයා චිත්‍රපටයක් නිෂ්පාදනය කරන බව දැනගෙන පැමිණිලිකරු රුපියල් ලක්‍ෂ 10ක මුදලක් දුන්නේ ප්‍රදානයක් වශයෙන් මිස ණය මුදලක් වශයෙන් නොවේ යැයි කීහ.

කෙසේ නමුත් පසු අවස්ථාවක තම සේවාදායකයා ඔහුට අදාළ මුදල ගෙවු බව දැනුම් දෙමින් ඒ සඳහා කුවිතාන්සිද උසාවියට ඉදිරිපත් කළ නීතීඥවරුන් මේ පිළිබඳ කරුණු පොලිසියට දැනුම් දුන්නත් ඔවුන් එම කරුණු නෙසළකා අත්අඩංගුවට ගෙන අධිකරණට ඉදිරිපත් කළ තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියහ.

දෙපාර්ශවයේ කරුණු සළකා බැලීමෙන් අනතුරුව පොලිසියේ ක්‍රියාකලාපය දැඩි ලෙස දෝෂාරෝපණයට ලක් කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරු ඇප මත මුදාහැරීමට නියම කළේය.


සන්නස්ගල අත්අඩංගුවට

2024 - 04 - 25
13:58

(ගයාන් සූරියආරච්චි)

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල් ශාන්ත සන්නස්ගල මහතා අද (25) කදාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

කදාන ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබාගෙන මාසයක් ඇතුළත ලබාදෙන බවට පොරොන්දු වී ඇති බව පොලිසිය පවසයි.

කෙසේ වෙතත් සැකකරු එම මුදල නියමිත දිනට ලබාදීමට අපහොසත් වී ඇති අතර විශ්වාසය කඩ කිරීම හේතුවෙන් මුදල් ලබාදුන් පුද්ගලයා කදාන පොලිසියට පැමිණිලි කර තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ කදාන පොලිසියේ නිලධාරීන් විසින් වහාම සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු අද (25) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

කැලණිය දිසාව බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.ජේ.වයි.බී. ක්‍රිෂාන්ත මහතාගේ උපදෙස් පරිදි කදාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී හේවාවිතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.