20160328NoelSmall1කණ්ඩායම් සංගීතය හරහා සංගීත ක්ෂේත්‍රයට පිවිසි නොයෙල් රාජ් වර්තමානයේ බොහෝ පිරිසක් දන්නා හඳුනන ජනප්‍රිය ගායකයෙකු බවට වී සිටියි. වසර කිහිපයක් තිස්සේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් කිහිපයක නිත්‍ය ගායකයා ලෙස කටයුතු කළ ඔහු තමන්ගේම ගී නිර්මාණ තුළින් රසිකයන් අතරට සිය හැකියාවන් ගෙනයෑමට සමත් වූ ගායන ශිල්පියෙක්. මෑත කාලයේ ජනප්‍රිය වූ 'ළං ළං වෙලා' හා 'දුක වැඩි තරමට' ගීත ඔහුගේ ජනප්‍රියත්වය ඉහළ දැමීමට සමත් වූ අතර, පසුගියදා ඔහුගේ අලුත්ම ගීතය සිය ආදරණිය රසික, රසිකාවියන්ට  තිළිණ කරනු ලැබීය. ඒ පිළිබඳව ඔහු මෙසේ අපි සමගින් දොඩමළු වුයෙමු.

"මගේ අලුත්ම ගීතය 'කඳුළු දවා' හා එහි මියුසික් වීඩියෝව මීට සතියකට පෙර එළිදැක්වූවා. ආදරය විරාහව සම්බන්ධව ලියැවුණ ගීතයක් විදිහට තමයි මේ ගීතය නිර්මාණය වුණේ. ගීතය ලිව්වේ සුලෝචන රාජපක්ෂ, සංගීතය නිර්මාණය කළේ සඳරුවන් ජයසිංහ. මියුසික් වීඩියෝ නිර්මාණය කළේ  'හරි' ක්‍රියේෂන් ආයතනය. ගීතය එළිදක්වලා මේ ගෙවුණ කෙටි කාලය තුළ බොහෝ පිරිසක් 'කඳුළු දවා' ගීතය නරඹලා තියෙනවා. අන්තිමට මම ගීතයක් එළිදැක්වූයේ මීට මාස 08කට කලින්. ඒ 'ඔයා දුන්න දුක' කියන ගීතය. ඉතින් බොහෝ දෙනෙක් මගේ අලුත් ගීතයක් එනකම් මග බලාගෙන හිටියා. මම හිතන්නෙ මේ කෙටි කාලය තුළදී බොහෝ දෙනෙක් මේ ගීතය නරඹලා රසවිඳින්න හේතුවත් එක කියලා. මැයි මාසේ 22 වැනිදාට මම සාමාජිකත්වය දරණ 'සනිධප' කණ්ඩායමේ සංවත්සරය යෙදිලා තියෙනවා. එදාට අපි අලුත් ගීතයක් එක්ක මියුසික් වීඩියෝවක් එළිදක්වන්නත් සූදානම් වෙනවා. ඒ නිසා ඒ වැඩ කටයුත්තට තමයි මේ දිනවල ගොඩක් කැපවෙලා තියෙන්නේ. ඊට අමතරව අවුරුදු කාලේ නිසා රටපුරා ප්‍රසංග සඳහා අපේ 'සනිධප' කණ්ඩායමට ආරාධනා ලැබෙනවා. මේ දිනවල ඉතින් ඒ වැඩ නිසා කාර්යබහුල වෙලා තියෙනවා." 

බුද්ධික සේනාධීර