(ඩයනා උදයංගනී)

ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා, රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතාට තර්ජනාත්මකව බැණ වදිමින් යොමු කළ හඬපට කිහිපයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළ වී ඇත.

මාර්ග සංවර්ධන කටයුතු කිහිපයක් අත්හිටුවන ලෙස පවසමින් සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා අදාළ හඬ පටය යොමු කර තිබේ.

කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රණවරාපිටිය ප්‍රදේශයේ මාර්ගයකට මුල්ගල තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ මතගැටුමක් හේතුවෙන් සනත් නිශාන්ත මහතා මෙම හඬපටය වට්ස්ඇප් ඔස්සේ නිමල් ලන්සා මහතාට යොමු කර ඇතැයි වාර්තා වේ.

ඉන් එක් හඬපටයක් මගින් සනත් නිශාන්ත මහතා මෙසේ පවසා තිබේ.

“උඹට මං කියන එක අහගෙන ඉන්න බැහැනේ. හෙට කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, රණවරාපිටිය පාරකට ආනන්ද සරත් කුමාර පාරකට තියනවා. හෙට ඒක තිබ්බොත් මම හෙට හවසම මාධ්‍ය සාකච්ඡාවක් තියලා උඹට ගහනවා මතක තියාගනිං. නවත්තනවා නම් නවත්තපං. මම උඹට ආයෙ කියන්නේ නැහැ.”

තවත් හඬපටයක් මගින් සනත් නිශාන්ත මහතා පවසන්නේ මෙවැන්නකි.

“ඔයා ෆෝන් කට් කළාට මට කමක් නැහැ. මගේ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ එවුන්ට කියලා පාරවල් හදවලා අපේ පාරවල් සේරම නතර කරලා. මම මාධ්‍ය සාකච්ඡාවක් තියලා කුඩු පට්ටම් වෙන්න ගහනවා. මම උඹට ආයෙ කියන්නෙ නැහැ. මතක තියාගනින්.”

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පැවසුවේ මෙම හඬපටය දින කිහිපයකට පෙර තමාට එවූ එකක් බවත්, ඊට ප්‍රියංකර ජයරත්න රාජ්‍ය අමාත්‍යවරයා කළ ඉල්ලීමක් අනුව මාර්ග කිහිපයක් ඉදිකිරීමට තම අමාත්‍යාංශය හරහා ප්‍රතිපාදන දී තිබීම බවත්ය.

සනත් නිශාන්ත මහතාගේ ඉල්ලීමෙන් පසු එම මාර්ග ඉදිකිරීම් කටයුතතු මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නැවැත්වූ බව ද රාජ්‍ය ඇමතිවරයා කීවේය.

තමන් මේ වන විට පෞද්ගලික කාර්ය මණ්ඩලයට ඉවත්වෙන්න කියා දැනුම් දී තිබෙන බවත් ලබන සතියේ ජනාධිපතිතුමා හමුවූ පසුව අවසන්  තීන්දුවක් ගන්නා බවත් හෙතෙම පැවසීය.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවසුවේ නිමල් ලන්සා මහතා මාර්ග ඉදිකිරීමේ කටයුතු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සංවිධායකවරයකුටත් ලබාදී ඇති බවත්, එසේ කළහොත් තම දේශපාලන කටයුතුවලට ද බාධා ඇතිවන බවත්ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජය යටතේ මාර්ග කිලෝමීටර ලක්‍ෂයක් කාපට් කිරීමේ වැඩපිළිවෙල යටතේ එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට කිලෝමීටර 25 ගණනේ ලබාදීමට තීරණයක් ගෙන තිබූ බවත්, ජොන්ස්ටන් ඇමතිවරයා මෙන්ම නිමල් ලන්සා රාජ්‍ය ඇමතිවරයාත් තමාට මාර්ග කිලෝමීටර 50කට ආසන්න ප්‍රමාණයක් සංවර්ධනය කිරීමට ලබාදුන් බවත් හෙතෙම පැවසීය.

තමාට දුන් මාර්ගද නිමල් ලන්සා මහතා සිය හිතවත් කොන්ත්‍රාත්කාරුවකුට ලබාදී ඇති නමුත් වසරක් තිස්සේ ඒවා ඉදිවී නැතැයි ද සනත් නිශාන්ත මහතා කීය.

එසේ තිබියදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සංවිධායකවරයාට කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාමසේවා වසම් 19යෙන් හොඳම වසම් 10ක ප්‍රවිෂ්ඨ මාර්ගය කිලෝමීටර 35ක් දී ඇති බවත්, එසේ දුන් ක්‍රමවේදය ඇසූ විට ඔහු දුරකතනය විසන්ධි කළ නිසා මෙම හඬපටය යැවූ බවත් කී නිශාන්ත මහතා තමන් එම වගකීම ගන්නා බව ද සඳහන් කළේය.

පොදුජන පෙරමුණ ගොඩනගන විට ලන්සා මහතා සිටියේ පසුගිය ආණ්ඩුවේ බවත්, තමා මාස තුනයි දින 19ක් හිරගෙදර සිටිමින් පක්‍ෂය ගොඩනැගීමට කැපවූ බවත් හෙතෙම කීවේය.

“මෙහෙම ගියොත් අපි දේශපාලනය කරන්නේ කොහොමද මෙහෙම ගඟෙන් බීලා මුහුදට ආවඩන්න බැහැ. ලන්සලට වැඩිය අපි මේ පක්‍ෂයට ආදරෙයි. මේ ගැන පරීක්‍ෂණයක් කරන ලෙස මම ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් ඉල්ලීමක් කරනවා.” යැයි ද රාජ්‍ය ඇමතිවරයා කීය.

ශ්‍රී.ල.නි.ප ආණමඩුව සංවිධායක ආනන්ද සරත් කුමාර මහතා පැවසුවේ තමන් සනත් නිශාන්ත මහතාට වැඩ නොකළත් මැතිවරණයේදී පොදුජන පෙරමුණට වැඩ කළ බවත්, මාර්ග සංවර්ධනය නතර කිරීම ආණ්ඩුව රැකගැනීමක් නොව ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙලට අකුල් හෙලීමක් බවත්ය.