(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

දික්වැල්ල ප්‍රදේශයේ පැවැත්වෙන අලුත් අවුරුදු සාදයක් සදහා අධිවේගී මාර්ගය ඔස්සේ සුඛෝපභෝගී මෝටර් රථයකින්  මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කළ බව කියන සුරූපී කතුන් සිවුදෙනකු අධිවේගී මාර්ග කොට්ටාව පිවිසුමේ දී  (27) දා අත්අඩංගුවට ගත් බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාශය පවසයි.

අත්අඩංගුවට ගත් කාන්තාවන් අතර ඕස්ට්‍රේලියාවේ සිට මසකට පෙර පැමිණි මිරිහාන ප්‍රදේශයේ පදිංචි  (32) කාන්තාවක් සමග  කළුබෝවිල (31) කටුවාවල (30) සහ පේරාදෙණිය (32) යන  ප්‍රදේශවල තිදෙනකු  ද සිටි බව පොලීසිය කියයි.

පාසල් මිතුරියන් වන මෙම කාන්තාවන් සිව් දෙනා , කොළඹ ප්‍රදේශයේ සිට දික්වැල්ලේ පදිංචි තවත් මිතුරියකගේ නිවසේ පැවැත්වෙන  අලුත් අවුරුදු සාදයක් සඳහා සුඛෝපභෝගී මෝටර් රථයකින් මෙසේ යමින් සිට ඇතැයි පැවසේ .

ඒ අනුව කොට්ටාව අධිවේගී පිවිසුමෙන් ඇතුලත් වීමට යාමේදී  එහි රථවාහන රාජකාරියේ නිරතව සිටි  නිලධාරීන්ට  මෙම මෝටර් රථය  පිළිබඳව සැක සිතී නවතා පරික්ෂා කිරීමේදී , එහි සිටි එක් කාන්තාවක සන්තකයේ ඩාන්සින් ටැබ්ලට් 08 තිබී හමු වූ බව පොලීසිය කියයි .

පසුව තවදුරටත් එම කාන්තාව පරික්ෂා කිරීමේදී ඇය සන්තකයේ තිබී කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් දහයක් සහ කොකේන් මත්ද්‍රව්‍ය  ග්‍රෑම් එකක් හමුවූ බව පොලීසිය පවසයි .