(නිමන්ති රණසිංහ සහ ඉන්දික රාමනායක)

ලංකා සතොස ආයතනයට අයත් රුපියල් ලක්ෂ 74ක් වටිනා සුදු`ථණු කිලෝග්‍රෑම් 54,860- ක් මිලදී ගත් බව කියන පුද්ගලික සමාගමේ හිමිකරු වන ඉන්දියන් ජාතික ව්‍යාපාරිකයකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් බම්බලපිටියේදී ඊයේ (06) අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම සැකකාර ඉන්දියන් ජාතිකයා අද අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන ඒකකය විසිනි.

ඉන්දීය ගුජරාටි ප්‍රාන්තයේ ලිපිනැති මෙම සැකකරු කොළඹ බම්බලිපටිය ප්‍රදේශයේ පදිංචිව සිටින 55 හැවිරිදි පුද්ගලයකු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.

ලංකා සතොස ආයතනයෙන් සුදුලූනු කිලෝවක් රුපියල් 135ක මුදලකට ලබා ගෙන ඇති මෙම සැකකරු සුදුලූනු කිලෝ 54, 860ක් සඳහා රුපියල් හැත්තෑ හතර ලක්ෂ හැට එක්දහසක මුදලක් වැය කර ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි එම නිලධාරියා පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කරමින් සිටින අතර, ඔහු හෙට (07) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි ද ඔහු සදහන් කළේය.


මෙම සිද්ධියට අදාළ විමර්ශන පෑලියගොඩ පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර කෙරුණේ ඉකුත් 01 වැනිදාය.