(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආන්දෝලනයට තුඩු දී තිබෙන සත්ව සුබසාධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නේ අදාල පාර්ශ්ව සමග සාකච්ඡාවකින් අනතුරුව බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"සත්ත්ව (සංශෝධන) යන පනත් කෙටුම්පත සත්ව සුබසාධන පනත යැයි පටලවා ගැනීමක් මගින් සමාජයේ යම් කතාබහක් ඇතිවී තිබෙනවා.සත්ව සුබ සාධන පනත කාලයක් තිස්සේ සාකච්ඡා කරමින් තිබෙන දෙයක්.එය පාර්ලිමේන්තුවේත් සාකච්ඡාවට පැමිණියත් ක්‍රියාත්මක නොවිච්ච එකක්.දැවැන්ත විවාදාත්මක කෙටුම්පතක් බවට පත්ව ඇත්තේ එම පනතයි.අප මේ වන විට එම කෙටුම්පත ගැසට් කර තිබෙනවා.අද මේ සංශෝධනය කරන්නේ සත්ව සුබසාධන පනත හා සම්බන්ධ කාරණයක් නොවේ.සත්ව සුබසාධන කෙටුම්පත සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගෙන් විරෝධතා පැන නැගී තිබෙනවා.එය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට අවශ්‍ය බව ඔවුන් දැනුම් දී තිබෙනවා.පෙරහර පැවැත්වීමට අදාළ අලි ඇතුන් සම්බන්ධ ප්‍රශ්නය තමයි ප්‍රධාන වශයෙන් ඉදිරියට ගෙනවිත් තියෙන්නේ.ඒ නිසා තවදුරටත් ඒ ගැන පුළුල් සාකච්ඡාවක් පවත්වන්න අප තීරණය කර තිබෙනවා.සත්ව සුබසාධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට බලාපොරොත්තු වන්නේ එම සාකච්ඡාවෙන් අනතුරුවයි යනුවෙන්ද අමාත්‍යවරයා කීය.