(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්) 

පානදුර ජනප්‍රියම පිරිමි පාසලක පාසල් සංවර්ධන සමිතියේ දී සෞඛ්‍ය විෂය හරියට උගන්වන්නේ නැතැයි වෛද්‍ය පියෙකු පැවැසුවැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගුරුවරිය විසින් වෛද්‍යවරයාගේ දරුවාට බූරුවා කියා බැනවැදුනට එරෙහිව ලද පැමිණිල්ලක් අනුව පානදුර දකුණ පොලිසිය  පරීක්ෂණ ආරම්භ කර තිබේ.

අදාල ජනප්‍රිය  පාසලේ 8 වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකුගේ පියා වන පානදුර රජයේ රෝහලක වෛද්‍යවරයෙකු  විසින් කල  පැමිණිල්ලක් මත මෙසේ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය කීය.

පාසලේ පසුගිය දිනක පැවැත්වූ පාසල් සංවර්ධන සමිතියයේදී, සිය පුතා ඉගෙනුම ලබන පංතියේ සෞඛ්‍ය විෂය හරියට උගන්වන්නේ නැති බවට පැමිණිලිකාර  වෛද්‍යවරයා දැනුම් දී තිබේ. ඒ බව පාලන අධිකාරීය විසින් ගුරුවරිය දැනුවත් කර ඇති අතර , පසු දිනක පංතියට පැමිණි ගුරුවරිය කාගේ තාත්තාද මම  උගන්වන්නේ නෑ තියෙන්නේ යනුවෙන් විමසා අදාල දරුවා ඉලක්ක කර යකෝ, බූරුවා යනුවෙන් වචන භාවිතා කරම්න් බැන වැදුන බවට ප්‍රකාශ කර ඇතැයි පොලිසිය සදහන් කරයි.

පැමිණිල්ල විභාග කිරීම සදහා දෙපාර්ශවය පොලිසියට කැදවා තිබූ අතර , සිද්ධිය සමතයකට පත්කර ගැනීම සදහා විදුහල්පතිනිය, පාසලේ ස්වාමීන් වහන්සේ නමක ඇතුළු පිරිසක් පැමිණ සිටී අයුරුද දැකගත හැකිවිය.

මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර නාවුල්ල මහතාගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්‍යාංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අයි.එස්. කුමාරසිංහ මහත්මිය සහ කොස්තාපල් මාලී (7530) පරීක්ෂණ පවත්වති.