ගුරු ගැටළු හා පාසල්වල ගැටළු ගැන අධ්‍යාපන ඇමැති හා ගුරු සංගම් අතර අද (25) පැවැත්වූ සාකච්ඡාවකදී ගුරු සංගම්වල ප්‍රශ්න කිරීම් හමුවේ අධ්‍යාපන ලේකම් උපාලි මාරසිංහ මහතා නැගිට ගිය බව අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.
පාසල්වල මුදල් එකතු කිරීම, ගුරු සේවයේ උසස්වීම් නොදීම, පාසලට ළමයින් ඇතුළත් කිරීමේ නව චක්‍රලේඛය නිකුත් නොකිරීම ඇතුළු කාරණා කිහිපයක් සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ දී සාකච්ඡාව පැවැත්විණි.
ඊට අධ්‍යාපන ලේකම් උපාලි මාරසිංහ මහතා ඇතුළු නිලධාරීහු ද, ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය සහ අධ්‍යාපන සේවක සංගමයේ නියෝජිතවරු ද සහභාගී වූහ.
දින සියයේ වැඩ පිළිවෙලේ අංක 59 යටතේ ඇති පාසල්වලට ළමයින් ඇතුළත් කිරීම පිළිබඳ නව චක්‍රලේඛය මෙතෙක් ඉදිරිපත් නොකිරීම ගැන හා පාසල්වල මුදල් අයකිරීම සම්බන්ධ නව චක්‍රලේඛයෙන් මුදල් එකතු කිරීම නීත්‍යනුකූල කර ඇති බව කියමින් ගුරු සංගම් දිගින් දිගටම ප්‍රශ්න කරද්දී අධ්‍යාපන ඇමැති සිටිය දී ලේකම් නැගිට ගිය බව ගුරු සංගම් නියෝජිතයෝ ප්‍රකාශ කරති.
ලේකම් නැගිට ගිය පසු පැය එක හමාරක් පමණ සාකච්ඡාව පැවැතියේය.
අධ්‍යාපනයේ ඇති ගැටළු වලට අධ්‍යාපන ලේකම් කිසිවක් කර නැතැයි ද, විදුහල්පති පත්වීම් දෙද්දී වංචාවන් සිදුවී ඇතැයි ද ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කීවේය.
මේ ගැන කළ විමසීමක දී අධ්‍යාපන ලේකම් උපාලි මාරසිංහ මහතා පැවසුවේ සතුන් සමඟ සාකච්ඡා කිරීමට නොහැකි නිසා නැගිට ගිය බවයි.
‘මං නැගිටලා ගියා තමයි. මට සතුන් එක්ක සාකච්ඡා කරන්න බෑ. එක ගුරු සංගමයක නියෝජිතයෙක් සතෙක් වගෙයි. ඔහු දිගින් දිගටම අඩුපාඩු අල්ලගෙන කෑ ගහනවා. ඔවුන් සමඟ සාකච්ඡා කරන්න මට බෑ. ඒ නිසා තමයි ඇමැතිවරයා සිටිය දී මා නැගිටලා ගියේ. පසුව මා ඇමැතිවරයා හමුවී සමාව ගත්තා.‘ යැයි ද අධ්‍යාපන ලේකම් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා සමාව ගතයුත්තේ ඇමතිගෙන් නොවෙයි. මෙරටේ ජනතාවගෙන්. (නි)
ලේකම්තුමනි, ඔබතුමාගේ ක්‍රියාකලාපය කෙසේවුවත් මේවා ගැන සොයා බලන්නේ නම් එය ඉතා වැදගත්.සමහර ගුරුවරු තාමත් නියමිත ශ්‍රේණියට උසස්කර නැහැ.සුදුසුකම් සපුරා අවුරුදු පහකට වැඩි අය විශාල පිරිසක් ඉන්නවා.විශේෂයෙන් වයඹ.සමහරක් විශ්‍රාම යාමටත් ආසන්න වෙලා.කිසිම කෙනෙකුට හිඟ වැටුපවත් දෙන්නෙත් නැහැ.එම නිසා අධ්‍යාපන පාලකයන්ගේ චක්‍රලේඛන වලට යටත්ව වැඩ නොකෙරනවා නම් මෙයට වගකිවයුත්තේ කවුද? ලේකම්තුමා මේවට පිළිතුරු සපයන්න ඕනෑ. ප්‍රශ්න වලින් පලායාම තනතුරේ වගකීමද? (නි)
අධ්‍යාපනය ගැන නොදැන පරිපාලයක් කරන්න බැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගේ තීරණ ගන්න කේෂ්ත්‍රයේ අය පත්කරන්න. අධ්‍යාපනයට බුදු සරණයි! (නි)
චාමික ඔබ හරි. පහුගිය කාලේ රජයේ සේවකයන් ඔක්කොම හිටියේ මොකක්ද එක දෙපරැන්දේ ගහගෙන. තමන්ගේ ඇමතිවරයා සිටින සාකච්ඡවකින් උපාලි මාරසිංහ නැගිට යාම වැරදියි. ට්‍රාන්ස්පේරන්සි වැනි ආයතනවලට අනුව ලංකාවේ දුෂිතම ආයතන වලින් එකක් තමයි අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතන. දැන් ලංකාවේ ඉන්න විදුහල්පතිවරුන් අල්ලස් ගැනීමෙන් උපයා තිබෙන දේපළ ගැන දැන ගත්තම පුදුම හිතෙනවා. අපේ කාලේ විදුහල්පතිවරුන්ට බුලත් අතක් දුන්නම ඒක බාර අරගෙන නැවත අපටම දුන්නා මේක ගිහින් සීයාට හෝ ආච්චිට ම දුන්නා කියලා දෙන්න කියලා. ජාතියට මග පෙන්වන ගුරුවරු විදුහල්පතිවරු අල්ලස් ගන්නේ නම් එවැනි ජාතියකට අනාගතයක් තිබිය හැකිද? අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති ප්‍රශ්න සාකච්ඡ කරන්න අධ්‍යාපන ලේකම් සුදානම් නැත්නම් එය සාකච්ඡ කල යුත්තේ කා සමගද? (අ)
ලොකු නිලධාරීන් ඔහොම කළොත් සමාව ගන්නවා, පොඩි කම්කරුවෙක් කළොත් ඔය නිලධාරීන්ම මිනිහව ගෙදර යවනවා. (නි)
මේ ගොල්ලෝ කයිවාරු විතරයි වගේ. වැඩක් කිරීමට කිසි බලයක් හෝ ශක්තියක් නැහැ. ප්‍රශ්න වලින් පැනල දුවන්න තමා බලන්නේ. (නි)
ගුරුවරියන් වහළ උඩ නග්ගලා විහිළුවක් කෙරෙව්වෙත් ඒ කාලෙම තමයි නිමල් මහත්තයෝ.මම නම් ඒ සිදුවීම් දෙකම දකින්නේ එකම විදියට.ගුරුවරිය දණගැස්වූ ඔහුට තම දේශපාලන දිවියෙන් වගේම නීතියෙනුත් දඬුවම් ලැබුනෙත් ඒ කාලෙදිම තමයි.ගුරු වෘත්තිය කියන්නේ ගරු කටයුතු වෘත්තියක් මිස මුදල් මත වෘත්තිය අයිතිවාසිකම් මත රැඳියයුතු වෘත්තියක් නෙමෙයි.අද මේ රටේ ගුරු වෘත්තියේ පරිහානියට මුලික වගකීම ගන්න ඕනෑ මේ වෘත්තිය සමිති කියලයි මම නම් කියන්නේ (නි)
කවුද දන්නේ ශාරීරික අවශ්‍යතාවයකට ගියාද කියලා? (නි)
මේවා පහුගිය රජය බෝකරපු ලෙඩ (නි)
උපාලි මාරසිංහ මහතා හොඳ නිලධාරියෙක්.(අ)
සන්දීපනී ඒ නැගිටලා ගිය ලේකම් කව්ද? කොන්ද පන නැති පඹයෝ ඇමතිවරු වනාම මෙහෙම දේවල් වෙනවා, අධ්‍යාපන ඇමති නෙවෙයි මෙයාගේ රාජකාරිය නම වෙනස් කිරීමේ ඇමති කියල දැම්මනම් හරි, (අ)
මම හිතන්නේ ලේකම්තුමා එතුමාගේ රාජකාරිය වටහාගෙන නැහැ. එහෙම නැතිනම් ප්‍රතිවිරුද්ධ මත ඉවසිය නොහැකි අයෙක්. රාජකාරි මට්ටමේදී වඩා උපක්‍රමශීලී වියයුතුයි. විශේෂයෙන්ම අමාත්‍යංශ ලේකම්වරයෙක්. මොහුගේ අනාගතය අපැහැදිලියි. සමහරවිට අමාත්‍යවරයා ඉතා අපහසුතාවයට පත්වන්න ඇති ඉතිරි කටයුතු කරගෙන යන්න. ලේකම්වරයෙක් අමාත්‍යවරයාට සහාය දැක්විය යුතුයි සාකච්ඡාව අවසන්වනතෙක්. (නි)
අවංකව සේවය කරනවානම් ඉවසාගෙන ඉඳලා ප්‍රශ්නවලට උත්තර දෙන්න තිබුනා දැන් අපිට හිතාගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා. (ර)
එහෙනම් සැමී කියන්නේ අර අධ්‍යාපනය කාපු, විභාග විනාස කරපු ඇමතිතුමා හොඳද?(නදී)
උපාලි මාරසිංහ මහතා හොඳ නිලධාරියෙක්.අපි සාධාරන සීමාවන් අතැර සිට ඔහු සමඟ සාකච්ඡා කළයුතුව තිබුණා (නි)
මහත්තයෝ, නැගිටලා ඔහොමම ගෙදරම යන්න.ප්‍රශ්න වලින් ඔය විදියට පළායන්නේ නැතුව. (නි)
මම නම් ඔය ඇහුවමයි ප්‍රශ්න වලට උත්තර දීගන්න බැරුව උසස් නිලධාරියෙක් නැගිටලා යනවා.කලින් ඔහොම ගියේ ඇමතිවරු.ඇමතිට ඉන්න පුළුවන් නම් නිලධාරීන්ට ඉන්න බැරි මොකද? අධ්‍යාපනයේ තරම් නිලධාරිවාදයක් කොහෙවත් තැනක නැතුව ඇති.ගොඩක් නිලධාරී හිතාගෙන ඉන්නෙ ගුරුවරු,පාසල් ළමයි දෙකොටසට වඩා මේ පද්ධතියේ ඉන්න නිලධාරීන් වැදගත් කියලා. (නි)
මහජනතාවගේ මුදලින් යැපෙන රජයේ සේවකයින් නේද මේ? මහජන නියෝජිතයෙක් වැදගත් සාකච්ඡාවකින් ඉවත්ව යාම බලවත් වැරැද්දක්. පසුව සමාව ඉල්ලීම මෙතනට අදාළ නැහැ. විනය පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. සුදුසුකම් ඇති අය ඕනෑතරම්. බැරිනම් ඉල්ලා අස්විය යුතුයි. (නි)
නැතුව අඩුපාඩු අල්ලගෙන හොඳ කියන්නද කියන්නේ? අඩුපාඩු කිව්වහම ඒවා අහගෙන ඉඳලා හදන්න බැරි අයට නැගිටලා ගෙදරම යන්න පුළුවන්. මෙතුමන්ලා පහුගිය කාලේ හිටියේ කොහොමද කියලා අපි දන්නවා. (නි)
අපි එයාට අනුකම්පා කරමු. (නි)
අනේ දෙවිවරු වගේ ගුරුවරුන්ට ගීය කලක්.ගුරුවරුන්ගේ ඓතිවාසිකම් අරක්ෂා කර,පඩි වැඩි කර ඔව්න් දිරිමත් කළ යුතුයි. එවිට ඔවුන් ගුණාත්මක සේවයක් ලබාදීමට කටයුතු කරාවි. (බ)
මම නම් කියන්නේ උපාලි මාරසිංහ හරි (නි)
මේවානම් ප්‍රශ්න කල යුතුම දේවල්. මගේ දුව මේ සැරේ උසස් පෙළ පන්තියට ඇතුළු වුණේ ඇය මුලසිටම ඉගෙනගත් කුරුණෑගල ප්‍රදේශයේ රජයේ බාලිකා පාසලක. එත් එයාට රු 5,000ක් පමණ පාසලට මෙමසයේදී ගෙවන්න වුණා. මා විදේශ ගතවී සේවය කරන බැවින් මගේ බිරිඳ මම මුදල හදිසියේ ලබාදී තිබෙන්නේ හිතවතියකගෙන් ණයට ලබා ගෙන. (අ)
මිනිසුන් සමඟ වැඩකිරීමේ කලාවක් තිබෙනවා. මෙතැනින් නැගිටලා ගියහම දැන් ප්‍රශ්න විසඳුනාද? නැහැනේ.රටේ ජනතාව දැනුවත් වියයුතු කාරණයක් තියෙනවා. ඒ තමයි ගුරු ගැටළු කියන්නේ සුපිරි පාසල්වල වැඩකරන අතළොස්සකගේ ගැටළු නෙමෙයි. අනෙක් රාජ්‍ය හෝ පුද්ගලික අංශයේ සේවකයන්ට තිබෙන අවම පහසුකම්වත් නැති අඩුතරමේ ඉඳගන්න හරියට පුටුවක් නැති, බොන්න පිරිසිදු වතුර ටිකක් නැති, ඉන්න හිටින්න පිළිවෙලට තැනක් නැති, පාසලට යන්න එන්න අනේක දුක්විඳින ගුරු පරපුරක් ඉන්න රටක් මේක. ඔවුන්ගේ ගැටළු ගැන කතා කර විසඳනවාට වඩා හැමදාම කළේ සමාජ වෛරය ඔවුන් කෙරෙහි අවුස්සා ඒවායෙන් පැනයාම නොවේද? (නි)
ප්‍රතිපති රාමුවක සිට අප සාකච්ඡා කළා නම් ඔහු මෙසේ නොයන බව මට විශ්වාසයි (අ)
දැන් ලංකාවේ පාසල්වල උගන්වන්නේ සත්තුද එතකොට ඔය කියන කෙනාට උගන්වල තියෙන්නේ මොන සතාද ? සිංහල -බුරුවෙක් ,ඉතිහාසය -කලවැද්දෙක්, සදාචරය -නරියෙක් ,මේවගේ අයගෙන් ඉගෙන ගතම කොහොමද මනුස්සයෝ එක්ක සාකච්චා කරන්නේ ස්ටාලින් මහතා සත්ව භාෂාව ඉගෙනගෙන යන්න සාකච්ඡා කරන්න වැඩේ හු කියල පටන් ගත්තනම් ඕක වෙන්නේ නැ (බ)
ඔබලා දන්නේ නැ ඔහු කව්ද කියලා නිවැරදි තීන්දු තීරණ ගන්න හොද රාජ්‍ය නිලදාරියෙක් හැබැයි මම දන්නේ නැ ඒ මොහොතේ සිදු වුන දෙය ගැන කොහොම වුණත් මෙවැනි නිලදාරීන් දැන් හරි දුලබය(අ)
ප්‍රශ්න වලට මුහුණ දෙන්න බැරි ලේකම් සතෙක්. මොවුන් ගෙදර යැවිය යුතුයි (අ)
සහතික ඇත්ත ලේකම් මහත්තයෝ..ඔය සත්තු නෙමෙයි..වන සත්තු..ගුරුවරයෙක් ගැන තිබුණු ගෞරවය ආදරය මිනිස්සුන්ගෙන් බිදෙව්වේ ගෞරවනිය ගුරු සේවය වෘතිය අයිතිවාසිකම් නාමෙන් කෙලසුවේ සිසුන්ගේ විභාග ඇපේට තියල පඩි පත වැඩිකරගන්න සටන් කලේ ගුරුවරියන් වහලවල් උඩ නංවල ගුරු වෘතිය රටටම විහිළුවක් කළේ ඔය වන සත්තු ටික තමයි..(අ)
අනේ කාලේ වනේ වාසේ! (නි)
අර වයඹ පළාතේ ගුරුවරියක් දණගැස්සුවේ කාගේ කාලේද යසපාල මහත්තයෝ? වෘත්තිය අරගල ඇතිවන්නේ ගුරුවරුන්ගේ ඇඟේ අමාරුවට නොවෙයි.ලැබෙන සොච්චම් මුදල මදි ජීවිතය ගැට ගහගන්න.වෘත්තියට ගැළපෙන ආකාරයට අඳින්න,පළදින්න, සමාජ යුතුකම් ඉටුකරන්න දේශපාලකයන්ට වගේ අමතර සන්තෝසම් කොමිස් ,පගා මේ අයට ලැබෙන්නේ නැහැනේ යසපාල.අනිත් එක නුගත් දේශපාලන අම්බරුවන් පස්සේ යන අතළොස්සක් හැරුණුකොට බහුතර ගුරු පරපුර ගෙවන්නේ ඉතාම දුෂ්කර අසීරු ජිවිතයක්. ඒ බව මම කියන්නේ සැබෑ ගුරු දෙවිවරුන්ගේ සෙවණලත් හා කාලයක් ඒ වෘත්තියේ යෙදුනු කෙනෙක් ලෙස ලද අත්දැකීමෙන්. අනෙක් සියලුම වෘත්තීන්ට වඩා වැඩි පහසුකම් ගුරුවරුන්ට ලබාදීම යුතුකමක් වන්නේ ඔවුන් ලෝකය ගොඩනැඟීමට මුලිකයන් වන නිසාමය. (නි)
ගුරුවරිය, සිසු සිසුවියන් ඉදිරිපිට දණගැස්සුවේ මොන කාලේද යහපාල? කට තිබුන පළියට වැල්වටාරම් දොඩවන්නේ නැතුව දෙන දෙයක් කාගෙන ඉන්න. (නි)
යහපාල උන්නැහේ, ගුරුවරු දණගැස්සුවේ? ඒ ටික අමතකවුණාද? (නි)
පාලිත, අනේ මේ, මිනිහා හොඳද නැද්ද කියන එක ඔයා ළඟ තියාගන්න.අපිට ඕනෑ රටේ අනාගතය සුරකින්නඩ. එයාට ඒකේ වගකීම ගන්න බැරිනම් වෙන රස්සාවක් හොයාගන්ඩ ඕනෑ. (නි)
එහෙම කළ එක නම් බොහොම වැරදියි (නි)
සමහර සමිතිකාරයෝ සමිතිවල පැල්බැඳගෙන. රියට වැඩක් කරන්න දෙන්නේ නැහැ. මේවා වෙන කෙනෙකුට කරන්න දෙන්නෙත් නැහැ. සමහර වෘත්තිය සමිතිවල නායකයා වෘත්තිය ගැන දැනුමක් හෝ නැති වෙනත් අයෙක්. මෙම නායකයන්ට සිටියහැකි කාලසීමාව අවුරුදු 4 කට සිමා කළයුතුයි.වෘත්තියේ කෙනෙක්ම වියයුතුයි. (නි)