(ඉන්දිකා රාමනායක)
 
සුදුවෑන්  මාධ්‍ය  සාකච්ඡාව සම්බන්ධයෙන්  හිටපු  අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද  (27) දෙවන දිනටත් පැය  4 ට ආසන්න කාලයක් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කරගත් බව එම දෙපාර්තමේන්තුව  කියයි.
 
රාජිත සේනාරත්න මහතා නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා සමග අද පෙරවරු 10.00  ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි අතර  ප‍්‍රශ්න කිරීම  පස්වරු 1.30 දක්වා පැවැත්විණි.
 
ඉකුත් (14) දින ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  සුදුවෑන් සිද්ධිය සම්බන්ධයෙන්  රාජිත සේනාරත්න මහතාගෙන් පැය 3 හමාරක් පමණ ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කරගත්තේය.
 
සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන්  තුන්වන  සැකකරු  වු රාජිත සේනාරත්න මහතාට රෝහලින් පිටවු පසු සිද්ධිය  පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප‍්‍රකාශයක් ලබා දෙන ලෙසට කොළඹ  ප‍්‍රධාන මෙහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර තිබිණි. ඒ අනුව,  ඒ මහතා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටියේය.
 
සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබාදීමෙන් පසු    රාජිත සේනාරත්න මහතා  මාධ්‍ය වෙත කිසිදු ප‍්‍රකාශයක් ලබා නොදී   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  පිටව  ගියේය.