(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාව පසුගිය වසරේදී විදේශ ප්‍රේෂණ සහ සංචාරක කර්මාන්තයෙන් ඇමෙරිකානු ඩොලර් කෝටි 1100 ක ආදායමක් උපයා ගෙන ඇතැයි  අමාත්‍ය විජිත හේරත් මහතා  ප්‍රකාශ කළේය.

පසුගිය වසරේදී විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් කෝටි 780 ක මුදල් ප්‍රමාණයක්  එවා තිබෙන බවත් සංචාරක කර්මාන්තයෙන් ඇමෙරිකානු ඩොලර් කෝටි 320 ක ආදායමක් ශ්‍රී ලංකාව උපයා තිබෙන බවත් විදේශ කටයුතු අමාත්‍යවරයා පැවැසුවේය.

ලබන වසරේදී මෙරටට අවම වශයෙන් සංචාරකයන් ලක්ෂ 30ක් මෙරටට ගෙන්වා ගැනීමට සංචාරක අමාත්‍යාංශය ඉලක්ක කර තිබෙන බවද ඔහු පැවැසුවේය. එසේම සංචාරක ආදායමද ලබන වසරේදී ඇමෙරිකානු ඩොලර් කෝටි 320 ට වඩා ඉහළ දමා ගැනීමට අවධානය යොමු කරන බවත්  හේරත් මහතා ප්‍රකාශ කළේය.