
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකාය විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී රැස් විය.
සංචාරක ක්ෂේත්රයේ පවතින ගැටලු සහ බාධා ඉවත් කර ගනිමින් ශ්‍රී ලංකාව තිරසාර සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ සැලසුම් සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්ක ඒකාබද්ධ කරමින් විශේෂ සංචාරක කලාපයක් (Southern Mist Corridor) ඇති කිරීමේ යෝජනාව පිළිබඳ මෙහිදී විශේෂ සාකච්ඡාවට ලක් වූ අතර, දකුණු සහ සබරගමුව පළාත් ඒකාබද්ධ කරමින් සිංහරාජය, කන්නැලිය-දෙදියගල-නාකියාදෙනිය වනාන්තර සංකීර්ණය සහ හිනිදුම කඳු වැටිය කේන්ද්‍ර කර ගත් විශේෂ සංචාරක කලාපයක් ඒ යටතේ සංවර්ධනය කෙරේ.
දැනට එම කලාපය තුළ සිදු වන අවිධිමත් හෝටල් ඉදිකිරීම් සහ පරිසර දූෂණය පාලනය කරමින්, එහි ස්වභාවිකත්වය ආරක්ෂා වන පරිදි නියාමන රාමුවක් සකස් කිරීම මෙහි අරමුණයි.
මෙම කලාපය තුළ තේ වගාව ආශ්රිත සංචාරක කර්මාන්තය (Tea Tourism) සහ පාරිසරික පාදක සංචාරක කටයුතු (Eco-tourism) ප්‍රවර්ධනයටද සැලසුම් කර ඇත. ඒ අනුව සංචාරක කලාපය පිළිබඳ යෝජනාවට අදාළ සියලු අංශ ආවරණය වන පරිදි ඒකාබද්ධ මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමටද මෙහිදී තීරණය කෙරිණි.
සමුද්‍රීය සංචාරක සහ මගී ප්‍රවාහන සේවා යටතේ Capital Marine and Civil Construction (CMC) ආයතනය වසර 10ක කාලයක් තුළ අදියර 03ක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති සමුද්‍රීය සංචාරක කොරිඩෝව පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් විය. මෙහි පළමු අදියර ලෙස උතුරු පළාතේ යාපනය කේන්ද්‍ර කර ගත් මගී ප්‍රවාහන යාත්‍රා සේවා (Ferry services) ආරම්භ කර පසුව එය කොළඹ සහ ගාල්ල දක්වා ව්‍යාප්ත කිරීමටත් යෝජිතය.
සිනමා සංචාරක කර්මාන්තය (Film Tourism) ප්‍රවර්ධනය කිරීම පිළිබඳවද මෙහිදි විශේෂ අවධානය යොමු විය. විදේශීය චිත්‍රපට කණ්ඩායම්වලට ලංකාව තුළ රූගත කිරීම් සඳහා අවසර ලබා ගැනීමේදී පවතින ප්‍රායෝගික ගැටලුවලට විසඳුම් ලබා දීම මෙන්ම, එකම ස්ථානයකදී අවසර ලබා ගැනීමට හැකි වන පරිදි තනි කවුළුවක් (Single Window) ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතියද මෙහිදී සමාලෝචනයට ලක් කෙරිණි. චිත්‍රපට උපකරණ තාවකාලිකව මෙරටට ගෙන ඒමේදී පවතින ගැටලු නිරාකරණය කර ගැනීම පිළිබඳවද සාකච්ඡා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd