(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලයක් දැරූ පොලිස් නිලධාරියකුට එරෙහිව විමර්ශන රැසක් සිදුකරන බව එම දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මුදල් වංචාවන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් නයිජීරියානු ජාතිකයන් සතුව තිබූ රුපියල් ලක්ෂ 72 ක මුදලක් පිල්ලි ගැසීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව විසින්ම විමර්ශනයක් ආරම්භ කර ඇත.

මේ බව අනාවරණය වී ඇත්තේ සැකකාර නයිජීරියානු ජාතිකයන් පමණක් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ලකින් අනතුරුව බව එම ආරංචි මාර්ග පවසයි.

මේ සිද්ධියත් සමඟම සැකකාර නයිජීරියානු ජාතිකයන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ලිපි ගොනුවේ වැදගත් ලිපි ලේඛන ද එම උසස් පොලිස් නිලධාරියා අස්ථානගත කිරීම සම්බන්ධයෙන් ද වෙනම විමර්ශනයක් පැවැත්වෙන බව එම ආරංචි මාර්ග පවසයි.

එකී පිල්ලි ගැසූ මුදල් නැවත නයිජීරියානු ජාතිකයන්ට ලබාදීමට එම නිලධාරියා උත්සාහ දරමින් සිටින බවට විමර්ශන සිදුකරන කණ්ඩායමට තොරතුරු අනාවරණය වී ඇත.