(නිමල කොඩිතුවක්කු)

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත දරුවන් හිංසනයට ලක් කළොත් දැඩි දඬුවම් ලබා දෙන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය පවසයි.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල පදනම් කරගනිමින් දරුවන් දණ්ඩණයට ලක් කිරීම, මානසිකව හිංසනයට ලක්කිරීම සිදු කිරීමෙන් වළකින ලෙස ද එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එසේම විභාග ප්‍රතිඵල මත පදනම්ව දරුවන් අපහසුතාවයට පත්වන අයුරින් ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ප්‍රචාරණ කටයුතු සිදු කිරීමෙන්ද වළකින ලෙසට අවධාරණය කරයි.

ඉහත ආකාරයෙන් කටයුතු කිරීම ළමා හිංසනය යටතේ දඬුවම් ලැබිය හැකි වැරදි වන බැවින් එසේ සිදු කරන්නන් හට උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සිදු කරනු ලබන බව ද කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය තවදුරටත් පවසයි.