(අංජුල මහික වීරරත්න)

ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් රැස්වීමට එල්ලවුණු බිත්තර ප්‍රහාරය ශිෂ්ට සම්පන්න සමාජයකට නොගැලපෙන ක්‍රියාවක් යැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී  අද (1) පැවසීය.

මෙවැනි ක්‍රියා බිත්තර ප්‍රහාරවලින් ඇරැඹී සාහසික ක්‍රියා දක්වා ගමන් කිරීමට ද බැරි කමක් නැති බව කී එජාප මහලේකම්වරයා මේ ක්‍රියාවට ආණ්ඩුව සම්බන්ධ නම් සාධාරණ විමර්ශනයක් බලාපොරොත්තු විය නොහැකි බවද සඳහන් කළේය.

මෙවැනි දේ සිදු කරන පුද්ගලයන් පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ වගකීම බවත් ආණ්ඩුව මේ සම්බන්ධව හැසිරෙන විදියෙන් "අබ කෑ මිනිහාගේ  මොලේ දනවා" යන කතාව සිහිපත් වන බවත් රංගේ බණ්ඩාර මහතා කීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  මිනිසුන්ගේ අයිතීන් පිළිබඳව සඳහන් කර තිබුණාට ප්‍රමාණවත් නැති අතර එම අයිතීන් ප්‍රායෝගිකව විඳින්නට අවස්ථාවක් ලබා දිය යුතු බව කී එජාප මහලේකම්වරයා අනුර කුමාර දිසානායක මහතාට පමණක් නොව ඕනෑම කෙනෙකුට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තිබෙන අතර එම නිදහස භුක්ති විඳිද්දී මෙවැනි සාහසික ප්‍රහාරවලට ලක් නොවිය යුතු බව ද පැවසීය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේ  මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස එජාප අප මහ ලේකම්වරයා මේ බව කීය.