(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මැති ඇමතිවරුන් ඉදිරි කාලයේදීත් රජය සමඟ සුහදව කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

ඔවුන් විවිධ මත ඉදිරිපත් කරන නමුත් රජයෙන් ඉවත් වනු ඇතැයි නොසිතන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ‘ශ්‍රී.ල.නි.පය ඉවත්වුණොත් ආණ්ඩුවට තුනෙන් දෙකක බලය අහිමි වෙනවා නේද?’ යනුවෙන් මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

  එම පක්‍ෂයේ අයට තමන්ගේ මතය ඉදිරිපත් කිරීමේ නිදහස තිබෙන බව ද ඇමතිවරයා කීවේය.

  ඉදිරි ජනාධිපතිවරණයට තව වසර 3ක් සහ පාර්ලිමේන්තු මැතිවරණයට වසර 4ක් ඇතැයි කී රමේෂ් පතිරණ මහතා එම පක්‍ෂය නියෝජනය කරන ඇමතිවරු දෙපල ඇතුළු මැති ඇමතිවරු සියලු දෙනා රජය සමඟ සුහදව කටයුතු කරමින් සිටින බව ද පැවසීය.