(සුජිත් හේවාජුලිගේ )

කොවිඩ් එන්නත්කරණය සම්බන්ධයෙන් අත්කර ගෙන ඇති සාර්ථකත්වය නිසා   ශ්‍රී ලංකාවට ඉදිරි අභියෝග ජය  ගත හැකි බව  පැහැදිලි යැයි  ආසියානු සංවර්ධන බැංකුවේ  අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යෝකෝයාමා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (6) පැවැසීය.

මෙරට ව්‍යාපෘති වෙනුවෙන් ලබාදෙන සහනදායි ණය  ඩොලර් බිලියනයක් දක්වා  ලබන වසරේදී  වැඩි කිරීමට  පියවර ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.

කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර ප්‍රවර්ධනයට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය  දිගටම ලබාදෙන බව  පැවසූ යෝකෝයාමා  මහතා මෙරට ව්‍යාපෘති සඳහා ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 750ක සහනදායී ණය මුදලක් පසුගිය වසරේදී ලබා දුන් බවද සිහිපත් කළේය.

ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේදී අද (6) පෙරවරුවේ  හමුවී සාකච්ඡා පැවැත්විය.

ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ එම රැස්වීමේදීය.

සමස්ත රාජ්‍ය සේවාව, සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ එක්ව ක්‍රියා කිරීමෙන් එන්නත්කරණ වැඩපිළිවෙළ සහ කොවිඩ් මර්දන ක්‍රියාවලිය සාර්ථක කරගැනීමට හැකිවූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පැවැසිය.

පොසිල ඉන්ධන භාවිතය අවම කරමින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත පරිවර්තනයවීම  රජයේ අභිප්‍රාය බවත්  ඒ සඳහා සූර්ය හා සුළං  විදුලි උත්පාදන ව්‍යාපෘති රැසක් දැනටමත් සැලසුම් කර ඇති බවත් ජනාධිපතිවරයා පැවසූවේය.

කාබනික පොහොර භාවිතය සඳහා ද රජය ප්‍රතිපත්තිමය තීරණයකට එළැඹ ඇතැයි පැවසූ රාජපක්ෂ මහතා  කාබනික පොහොර නිෂ්පාදනයට සහ නයිට්‍රජන් නිස්සාරණයට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමට මැදිහත් වන ලෙසට   කෙනිචි යෝකෝයාමා  මහතාගෙන් ඉල්ලා සිටියේය.

එසේම ග්‍රාමීය  කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නියැලී සිටින  ජනතාවගේ ආදායම හා ජීවන තත්ත්වය නඟා සිටුවීම රජයේ අපේක්ෂාව බවත්  ආර්ථිකමය වශයෙන් ඵලදායී  වගාවන් වැඩි කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහාය බලාපොරොත්තු වන බවත්   ජනාධිපතිවරයා මෙහිදී පැවැසීය.

මෙම අවස්ථාවට ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්ෂ චෙන් චෙන් , නියෝජ්‍ය අධ්‍යක්ෂ උට්සව් කුමාර් , ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරුද සහභාගී වූහ.