(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකාවේ හරිත කෘෂි කර්මාන්ත වැඩපිළිවෙළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැසසුමට ලක්ව ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (4) පෙරවරුවේ පැවැත්වුණු අතර මෙරට හරිත කෘෂි කර්මාන්ත වැඩපිළිවෙළ මෙහිදී විග්නරාජා මහත්මිය විශේෂ ඇගයීමට ලක්කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

කන්නි විග්නරාජා මහත්මිය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහකාර පරිපාලිකා මෙන්ම එම වැඩසටහනේ ආසියානු සහ පැසිපික් කලාපීය කාර්යාංශයේ අධ්‍යක්ෂකවරිය ලෙසද කටයුතු කරන්නීය.

තිරසර සංවර්ධන වාර්තාවට(2021) අනුව ශ්‍රී ලංකාව පසුගිය වසරට සාපේක්ෂව අගයන් 7 කින් ඉදිරියට පැමිණ ඇතැයි මෙහිදී පැවසූ විග්නරාජා මහත්මිය රටවල් එකසිය හැට පහකින් ශ්‍රී ලංකාව පසුවන්නේ 87වැනි ස්ථානයේ බවද සඳහන් කළාය.

කොවිඩ් වසංගතය සමග ඇති වූ සමාජ ආර්ථික බලපෑම් වලට විසඳුම් සොයන අතරේදී තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළ ජනාධිපතිවරයා මෙහිදී විස්තර කළේය.

මේ අරමුණු ඉටුකර ගැනීම සඳහා දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය සහ ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහාවන සඳහාවන කාර්ය බලකාය ඇතුළු විධිමත් ව්‍යුහයක් සකස් කර ඇති බවද ජනාධිපතිවරයා පැවසුවේය.

මේ අවස්ථාවට එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික නියෝජිත රොබට් ජුන්කම්, නියෝජනය මාසික නියෝජිත මාලින් හර්විග් ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.