(යොහාන් පෙරේරා)

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘතී ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාව,ඉන්දියාව හා ජපානය අතර ත්‍රෛපාර්ශික ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මරාදාන සුදුවැල්ලේ දී අවුරුදු උත්සවයකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව කීය.


 “මම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පණිවිඩයක් රැගෙන ඉන්දියාවට යනවා.ඉන්දියානු අගමැති මෝදි මහතා සමග සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිතයි.“

“ශ්‍රී ලංකාවේ නැගෙනහිර,මධ්‍යම සහ බස්නාහිර පළාත්වල සංවර්ධන කටයුතු සඳහා ත්‍රෛපාර්ශික වැඩසටහනක් දියත් කිරීම මෙහි අරමුණයි.“යැයි වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.ත්‍රිකුණාමලය වරාය ඉතා ඉක්මනින් සංවර්ධිත වරායක් බවට පත්වනු ඇතැයි ද එහි සමහර ව්‍යාපෘති සඳහා ජපානය සහය දෙනු ඇතැයි ද ඒ මහතා කියයි.ඉන්දියාව එහි අනෙකුත් ව්‍යාපෘති සඳහා සහය දෙනු ඇතැයි ද ඒ මහතා පවසයි.

“ත්‍රිකුණාමලය වරායේ ව්‍යාපෘති කිහිපයක් සඳහා ඉන්දියාව හා ජපානය එක්ව සහය දීමට නියමිතයි.ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය කිරීමට සිංගප්පූරුව සහය  ලබාදෙනු ඇත.ජපානය හා ඉන්දියාව කෙරවලපිටියේ ස්වභාවික ද්‍රව ගෑස් බලාගාර දෙකක් ඉදිකිරීමට අපිට සහය ලබාදීමටත් බලාපොරොත්තු වෙනවා.“යැයි  අගමැතිවරයා කියයි.

 “එමෙන්ම මුහුදේ පාවෙන ස්වභාවික ද්‍රව ගෑස් තටාකයක් ඉදිකිරීමට ඉන්දියාව හා ජපානය එක්ව ව්‍යාපෘතියක් කිරීමට නියමිතයි.“යැයි වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.මෙම ගිවිසුම් මගින් ජපානය හා ඉන්දියාව ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘතිවලට දායක වීම ධනාත්මක ලකුණක් බව අග්‍රාමාත්‍යවරයා කියයි.

මීතොටමුල්ල ගැන වාර්තාවක් ජපාන කණ්ඩායමක් විසින් ලබා දෙනු ඇතැයි ද කසළ කළමනාකරණය කිරීම සඳහා සහය ලබාදෙනු ඇතැයි ද වික්‍රමසිංහ මහතා පවසයි.

“අමාත්‍යවරු කිහිප දෙනකු සමග මම ජපානයේ සංචාරය කළා.දීර්ඝ කාලයක් තිස්සේ ලංකාවට සහය ලබාදුන් එකම රට ජපානයයි.අපිට ජපානයෙන් විශේෂ සහයක් ලැබිලා තියෙනවා.ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට සහය ලබාදෙන බවට ජපාන අගමැතිවරයා සහතික වුණා.“

“ආසියාවේ ස්ථාවරත්වය හා සංවර්ධනය සඳහා සමාන ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාවට හා ජපානයට තියෙනවා.මහනගර සංවර්ධන වැඩසටහන,අධිවේගී මාර්ග සංවර්ධනය හා කොළඹ වරාය සංවර්ධනය කිරීම සඳහා ජපානය අපට සහය ලබා දෙනු ඇත.“

“ජපානයේ පෞද්ගලික අංශය ශ්‍රී ලංකාවේ මහනගර සංවර්ධන වැඩසටහන යටතේ ව්‍යාපෘතිවලට ආයෝජනය කරනු ඇත.මහනුවර සංවර්ධනය කිරීමටත් අපිට සහය ලබාදෙනු ඇත.මේ සම්බන්ධයෙන් මූලික කටයුතු මේ වන විට අවසන් කර තිබෙනවා“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.

 මහනුවර සංවර්ධනය කිරීමට මෙන්ම රටේ සංවර්ධනය කටයුතු සඳහා බෞද්ධ ජාතියක් වන ජපානය සමග කටයුතු කරන ලෙස අස්ගිරි මල්වතු මහනායක හිමියන් උපදෙස් දුන් බවද අගමැතිවරයා කියයි.“ඒ නිසා අපි ජපානය සමග කටයුතු කරනවා“යැයි වික්‍රමසිංහ මහතා පවසයි.

චීනය සමග ද එක්ව කටයුතු කරන බවද පවසන අගමැතිවරයා මැයි මාසයේදී චීනයේ සංචාරයක යෙදෙන බවත් එහිදී ගිවිසුම් කිහිපයක කටයුතු අවසන් කරන බවත් කියයි.

මීතොටමුල්ල ඛේදවාචකය සිංහල අවුරුද්දේ කිසිසේත්ම අපේක්ෂා නොකළ බවත් වික්‍රමසිංහ මහතා කියයි. “එවන් දෙයක් නැවත ඇති නොවන බවට පැහැදිලි කරගත යුතුයි.ඒ වගේ දේවල් රටක සිද්ධ වෙනවා.ඒ සඳහා මුල් වුණු අඩුපාඩු අපි හඳුනාගත යුතුයි.එවන් ව්‍යවසන අනාගතයේදී සිදුවීම වළක්වාගැනීමට කටයුතු කිරීම රජයේ වගකීමක්“යැයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

(ඩේලිමිරර් ඇසුරෙනි-042)