(ටෝනි කරුණානායක)

අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග හැරීමේ චෝදනාව සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් තිදෙනාට විරුද්ධව ඇති නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා  අද තීන්දු කළේය .

ඒ අනුව මෙම නඩුවේ පළමුවන සැකකරු වන ශානි අබේසේකරට දෙසැම්බර් මස 10 වන දිනත් දෙවැනි සැකකරු වන හිටපු උප පොලිස් පරීක්ෂක මෝහන මෙන්ඩිස්ට දෙසැම්බර් මස 11 වන දිනත් සිව්වන සැකකරු වන විශ්‍රාමික උප පොලිස් පරීක්ෂක නවරත්න ප්‍රේමතිලකට දෙසැම්බර් මස 13 වන දින කොළඹ අපරාධ කොට්ඨාසයේ පෙනී සිට ප්‍රකාශ ලබා දෙන ලෙසට අධිකරණයෙන් නියම කළේය.

සැකකරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය උද්ධෘත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසයේ විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කීය .

එකී උධෘත ගොනුව කොළඹ අපරාධ කොට්ඨාසය  දැනුම් දුන් අවස්ථාවකදී නිලධාරියකු මගින් කොළඹ අපරාධ කොට්ඨාසය හමුවට ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට අධිකරණයෙන් නියම කෙරුණි .

සැකකරුවන් තිදෙනා ට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් ඇප නියෝගය අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති චෝදනා පදනම් විරහිත බව පවසා සැකකරුවන්ගේ නීතීඥයින් විසින් මෙම නඩුව තවදුරටත් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවත්වාගෙන යාමට නොහැකි බව විවිධ නඩු තීන්දු ගෙනහැර පාමින් අධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණි .